Temples of Sri Lanka

සුවදෙන වදනක්

වස්තුවෙන් සැලකීම තරමටම වචනයෙන් කරන සැලකීම වැදගත් යැයි සමහරු නොසිතති. අසත්‍යයක් නොවන කේලමින් තොර, රළු නොවන, අර්ථවත් වචන වලින් කරන සංග්‍රහයෙහි අගය සුළු නොවේ .

“වචනෙ කා දරිද්‍රතා”

යනුවෙන් වියත් පඬුවන් විසින් පෙන්වා දී ඇති අන්දමට හොද වචන තුළින් කරන සංග්‍රහයෙන් තමන්ට කිසිදු පාඩුවක් නොවනවා පමණක් නොව හොඳ ප්‍රතිඵල රාශියක් ද ලබා ගත හැකි වෙයි.

බුද්ධිමත්ව සිතන විට රසවත් කෑම වේලක් දීමට වඩා, ආදර බර වචන මාලාවකින් කරන සංග්‍රහයේ වටිනාකම සුළුපටු නොවේ.

වැටුපක් ගෙවා සේවයක් ලබා ගන්නා කෙනෙකුට වුවත්, සැඩ පරුෂ වචනයන්ගෙන් සිත් රිදවුවහොත් , මුදල් පසෙක දා ඉවත්ව යන අවස්ථා කෙතෙකුත් දැකිය හැකිය.

තමා ඇසුරේ සිටින සුනඛයෙකු වත් රළු වදන් තුළින් මොන තරම් අප්‍රසන්න තත්ත්වයකට පත්වන්නේ දැයි සිතා බැලීම අපහසු නොවේ.

මේ අනුව කුඩා දරුවන්ගේ සුළු වරදෙහි පවා හැකි තාක් සිත් නොරිදෙන අන්දමට මුදු මොළොක් කාරුණික අන්දමට වචන පාවිච්චි කිරීමෙන්, ඔවුන් සුමගට පත් කළ හැකි බව ද අමතක කළ යුතු නොවේ.

යම් කාර්යයක් කිරීමේදී තමන්ට මෙලොවත් පරලොවත් අභිවෘද්ධිය සැලසේ නම්, එවැනි ක්‍රියා ඉතා වැදගත්ය. එසේ නොමැතිව මෙලොව සැප ලබා පරලොව දුක් විඳීමට හෝ පරලොව සැප ලැබීමට මෙලොව දුක් විඳීමක් හෝ සඳහා කරන වැඩ බුදුන් වහන්සේඅනුමත නොකළහ.

ව්‍යග්ගපජ්ජ, පරාභව ,මංගල, සිඟාලෝවාද ආදී සියලු සූත්‍ර ධර්මයන්ගෙන් අපට පෙන්වා දී ඇත්තේ දෙලොවම සැප ලබා ගැනීමට පොදු මාර්ගයන්ය. ඒ අනුව ක්‍රියා කිරීමෙන් තමන්ගේ පමණක් නොව, මුළු මහත් සමාජයේම ආරක්ෂාවත් අභිවෘද්ධියත් සැපතත් නිරන්තරයෙන්ම සිදු වෙයි. අද බොහෝ දුරට ඒ සූත්‍ර ධර්ම මගින් පෙන්වා දී ඇති විවිධ ගුණධර්ම කතාවට පමණක් සීමා කොට දුශ්චරිත වත් ජීවිත ගත කිරීම නිසා අන්තයටම පිරිහෙන තත්ත්වයක් උදාවී ඇති බව නොරහසකි.

සමානාත්මතාවය නමින් දැක්වෙන උතුම් ගුණය සමාජ පැවැත්ම සඳහා ඉතා වැදගත්ය. තමන් පමණක් කා බී ජීවත්වීම තිරිසන් ගතියක් බව, දහම මගින් පෙන්වාදී ඇත.

තමන් සැප ප්‍රාර්ථනා කරන්නාක් මෙන්, අන් අයද සැප ප්‍රාර්ථනා කරන බව සලකා, එයට අනුග්‍රහ දැක්වීම උතුම් මිනිස් ගුණයකි.

එසේම ලෙඩ දුක් පමණක් නොව ධන හානි දේපළ හානි වල දී අනවශ්‍ය ලෙස බොහෝ අය තැවෙමින් කල් ගෙවන බව පෙනේ. වචනයකින් හෝ කාරුණික වීමට ඔබට හැකිනම් ,ඒ තුළ මහා පිනක් ඔබට එකතු වේ .

ලාභ, අලාභ, සැප දුක්, ආදියෙහි දී ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගෙන, කම්පා නොවී…. ජීවත් වීමටත් ඇතිවන ගැටලුවලට සාර්ථකව මුහුණ දී විසඳා ගැනීමටත් පියවර ගැනීම උසස් මිනිස් ගුණයකි .ඒ සඳහා පිරිසිදු සිතකින් පිරිසිදු වචනයකින් සංග්‍රහ කිරීමට ඔබට පියවර ගත හැකි නම් ඒ පුණ්‍ය කර්මය ඔබ වෙතයි.

මුදලට කල නොහැකි බොහෝ දේ කාරුණික වූ වචනයකින් කළ හැකියි.බොහෝ හදවත් පිරිසිඳු වදනින් සුවපත් කල හැකි බවත් කාරුණික වදනින් සාර්තක කළ හැකි බවත් නිරන්තරයෙන් සිතමින්….මිනිස් ගුණ දම් වඩන්නට ඔබට ඇරයුම්…බෞද්ධ සහෝදරත්වයෙන්….

You might also like
en English
X
X