Temples of Sri Lanka

ස්ථිරසාර මාර්ගයක සතුටින් පිය නගමු ද?

කලබල වූ, නොසන්සුන් වූ මොහොතක ඔබට කිසිවක් හරියාකාරව කළ හැකිද ?

තරහෙන්, දුකෙන්, රාගයෙන් දැවෙමින්, ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින් හෝ නිදිමතෙන් සිටින විටද නිවැරදිව තිරණයක් ගැනීමට හෝ නිසි ලෙස කායික ක්‍රියාවක් හෝ කිරීම අපහසුය. සිත මනා සේ පවතින, සන්සුන් මොහොතක, නිසියාකාරව තීරණ ගැනීමට, කායික ක්‍රියාවන්හි යෙදීමට ආදිය පුළුවන.එසේ නම් සිතේ ශක්තිය, බලවත් බව උද්දීපණය වන්නේ කවර නම් ආකාරයෙන් එය පවත්වා ගන්නා කල්හිද යන්න ඔබ දනී. සිතේ ශක්තිය මතු කර ගන්නට නම් එය සන්සුන්ව තිබිය යුතුය. හොද නින්දකට පසුව ප්‍රබෝධමත්ව අවදි වූ විට පවතින සිතේ ස්වභාවය කෙසේද..? එහි ශක්තිය වැඩි බව අප දනිමු.

සෑම කෙනෙකුගේම සිත් වල එහි උපරිම බලවත් භාවය ළඟා කර කර ගත හැකි ශක්තියක් සේම, එය ඉතාම දුර්වල කර ගත හැකි ශක්තියක්ද ඇත. එක් එක්කෙනා සිත පවත්වා ගන්නා ආකාරය මත එය වෙනස් වේ.

සිත සන්සුන්ව, රාග , තරහා, ඊර්ෂ්‍යා, මාන්නයන් ආදී කෙලෙසුන්ගෙන් හීනව පවතිද්දී එහි ශක්තිය වැඩිය. එසේ සිත ශක්තිමත්ව, බලවත්ව පවත්වා ගන්නට නම් අප විසින් එවැනි කෙලෙස් වලින් සිත දූෂණය නොවන පරිදි සිත පවත්වා ගත යුතුය. ඒ සඳහා කයින් හා වචනයෙන් සිදු කරනා දේවල් හේතු වේ. කාමයන්හි දැඩිව ගිලී සිටිනා විට සිත එයින්ම ආතුර වේ. සෑම විටම ද්වේශයෙන් , ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් සිටින විට සිත දුර්වල වේ. එවැනි වූ කෙලෙස් ජනිත නොවන්න ආකාරයට අප කය සංවර කර ගත යුතුය. නිතරම අන් අයට බනිමින් හෝ, කේළාම් කියමින්, බොරු කියමින් හෝ හිස් දේවල් පමණක්ම කියමින් සිටිනා විට සිත දුබල වේ. වික්ෂිප්ත වේ. එකඟ බාවය හීන වී යයි. එම නිසා වචනය සංවර කරගත යුතුය. මෛත්‍රී සහගත වචන බාවිතා කළ යුතුය. ධර්මය කතා කළ යුතුය. එසේ වචනයෙන් සංවර විම තුළින් අපේ සිතට මහත් වූ බලපෑමක් ඇතිවේ.

සොරකම් කිරීම, අනිසි කම් සැප සෙවීම්, ප්‍රාණගාත, ආදී විෂම චාරයන්ගෙන් වෙන්වී සිටීම සිතට මහත් සොම්නසක් ගෙනදෙයි. සිත් තුළ අනවශ්‍ය බිය සංකා ඇති නොවේ. සෘජු බාවය ඇතිවේ. මෙසේ කයේ හා වචනයේ පාලනය සිතේ ශක්තිය බලවත් කර ගැනීම පිණිස අත්‍යවශ්‍ය දෙයකි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය යනු සිතේ බලය ශක්තිය උපරිම තත්වයට පත් කරවන ආකාරය කියාදෙන දහමකි. සිතේ බලය, ශක්තිය උපරිම වන්නේ එය පිරිසිදු වීමෙන්‍ ය. එලෙස සිත පිරිසුදු වන්නේ කෙලෙස් සිතිවිලි අවම වන්නට අවම වන්නටය. කෙලෙස් සිතිවිලි අවම කරගන්නට නම් කෙලෙස් ජනිත වන වචනද, ක්‍රියාද අවම කර ගත යුතුවේ. සිත දමනයට පෙර කය වචනය පිරිසිදු කළ ගත යුත්තේ එබැවිනි. එසේ කය හා වචනය සංවර කර ගැනීම සීලය ලෙසින් හඳුන්වයි. බුදු පියාණන්ගේ ධර්මය ඉතාමත් ප්‍රායෝගිකය. ඕනෑම කෙනෙක්ට පිළිපැඳිය හැකි ආකාරයෙන් පියවරෙන් පියවර සරලව දේශනා කොට ඇත. විමුක්ති මාර්ගය ආරම්භ වන්නේ සීලයෙනි. සීලය පිරිසිදු කර ගන්නට වීරිය කරන කල්හි, ඉබේම ක්‍රමයෙන් සිතේ පිරිසිදු බාවයද ඇතිවේ.

පිරිසිදු වූ නොකිළිටි වූ ශීලය යනු මහත් වූ බලයකි. එසේ සිල්වත්ව දිවි ගෙවන්නාට මිනිසුන් පමණක් නොව දෙවිවරුන්ද වන්දනා කරයි. එසේ වැඳුම් ලැබීමේ චේතනාවෙන් නොව, සිත පිරිසිදු කොට ගන්නේ හැඟීමෙන්ම සිල් ආරක්ෂා කරගත යුතුය. සිල්වතුන් වටා මහත්ම වූ බලයක් ගොඩ නැඟේ. උපසම්පදා ශීලයක් රක්නා ස්වාමින් වහන්සේලා සතු බලය අති මහත්ය. නොවැලක්විය හැකි කර්ම ශක්තියක් නොවේ නම්, උන් වහන්සේලා කිසිදා අතුරු ආන්තරා, ස්වභාවික විපත්තීන්ට බඳුන් නොවේ. උන් වහන්සේලා සෘජුය. තේජාන්විතය. සියල්ලන්ම ඒ බසට දමනය වේ. ඒ අන් කවරක් නිසා නොව රක්නා පිරිසිදු උපසම්පදා ශීලය හේතුවෙනි. ගිහියෙක් වුව මනා සේ පංච ශීලය රකින්නේ නම්, අඛණ්ඩව එය රැකිය හැකි නම්, ඔහු වටාද මහත් වූ බලයක් ගොඩ නැඟේ. මේවා සුළුවෙන් සැලකිය යුතු නොවන්නේ මන්ද යත්,මේ බුද්ධ දේශනාවමය. උන් වහන්සේ විසින් තුන් කල් දක්නා නුවණින් බලා දෙසූ ස්වාක්ඛාත වූ ධර්මයය. එය පිළිපැඳීමෙන් ලබන සුවය නිමක් නැත.

මාර්ග ඵල නොලැබූ කිසිම කෙනෙකුට මරණින් මතු නැවත මිනිස් හෝ දෙවි හෝ බ්‍රහ්ම උපතක් ලැබීමේ සම්භාවිතාවය ඉතාමත්ම විරලය. බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වඳාළ පරිදිම දක්වනවානම්,
මහපොළොවේ පස් තරම් වූ සත්වයන් අතරින් , නියපොත්ත මතට ගත් පස් ප්‍රමාණය තරම් වූ ඉතාමත්ම ස්වල්ප දෙනෙකි. සැසඳීමටවත් හැකි නොවේ. එසේම සත්වයෙක්ට මේ සංසාරයේ මනුස්ස උපතක් ලැබීමද ඉතාමත්ම විරලය. එයද බුදු මුවින් දෙසූ පරිදි දක්වනවානම්,
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලූ කල සඳ දකින්නාක් මෙන් දුලබය. එසේ නම් මෙතෙක් මගඵල නොලබා ඇති ඔබ ඉන්නා භයානක තත්වය කොතෙක් වේද..!

එසේ මග ඵල නොලැබූවද මිනිසෙක් වශයෙන් උපත ලැබූ කෙනෙක්ට සුගතියක යෑම සඳහා ඉතාමත්ම ඉවහල් වන දෙයක් ඇත. ආනිශංස වශයෙන් ඉතාමත්ම බලවත් වූ, පෘථග්ජන ඔබට සුගතියක යා හැකි රන් ඉණිමඟක් වූ දෙයක් පවතින බව ඔබ දන්නවාද ?

එය නම් ලක්ෂ කෝටි ගණන් විය පැහැදම් කරගෙන කරන පින්කම් නොවේ. ඒවායේ විපාකයද මහත් වන නමුත් ස්ථිරවම ඔබට එය මරණ මංචකයේදී සිත් අභියසට පැමිණේදැයි අවිනිශ්චිතය.

එසේ නම් නිසැකවම ඔබට සුගති මඟ විවර කරදෙන දෙය කුමක්ද.?

එය අන් කවරක් නොව, තිසරණය සරණ ගොස්, කර්මය හා කර්ම ඵලය අදහා ගනිමින් බුද්ධ ධම්ම සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගනිමින්ම රක්නා පංච ශීලයයි. එය එතරම්ම බලවත්ය. මරණ මංචකයේදි ඔබව තනි නොකරමින් ඔබ විසින් මේ ජීවිතයේ කඩ නොකර රක්නා ලද පංච ශීලය ඔබව ආරක්ෂා කරනු ඒකාන්තය..

හිතන්න.. ඒ මහා කාරුණිකයන් වහන්සේගේ මුවින් දෙසන ලද ඒ ධර්මයේ මුලින් ගත්තද – මැදින් ගත්තද – අගින් ගත්තද… සෑම තැනකම සත්වයාට සැපක් , සුවයක්, ශාන්තියක්, නිවීමක් උදා කරදෙන දහමක් මිස , සත්වයාගේ දුක කවර ආකාරයකින් හෝ නිවන දහමක් මිස , ‘මෙය පලක් නොවේ’ යැයි කියා ඉවත දැමිය හැකි කිසිවක් වේද..!!!
එහි මුලත් රසවත්ය…!
මැදත් රසවත්ය..!
අග අතිශයින්ම රසවත්ය…!!! එය නම් නිවන් රසයයි…!
නිවන් සුවය හා සම කිරීමට සුවයක්, සැනසීමක් ශාන්තියක් ලොවේ කොතනකවත් නැත.

ඒවැනි වූ අමා දහමක් අපට දීමට ඒ කාරුණිකයන් වහන්සේ විඳි දුක් කම්කටොළු නිමක් නොවේ.

“මම පමණක් නොවේ.. මමද එතෙර වී.. ලෝක සත්වයාත් එතෙර කරවමි..”

මේ අධිඨන පැවතුණේ දවසක් නොව.. මසක් නොව… වසරක් නොව… කල්පයක් නොව.. කල්ප ගණනක් නොව….
ගණනකින් දැක්විය නොහැකි තරම් වූ කල්ප කෝටි කෝටි ගණන් අති දීර්ඝ කාලයක් පුරාය..
එසේ නම් …. එතරම්ම වූ උත්තමයාණන් වහන්සේ කෙනෙක් විසින්.. එතරම්ම කාරුණික වූ උතුමාණන් විසින්…. දෙසන ලද සෑම වදනකම ගැබ්ව ඇත්තේ මහා කරුණාව නොවේද…ඔබත් මාත් ඇතුළුව සියළු සත්වයන්ගේම යහපත පිණිසම නොවේද…
ඇල්පෙනෙති තුඩක තරම් වත් දෙයක් ‘මට එපා’ කියා , ‘මට මෙය වැඩක් නෑ’ කියා ඉවත ලීමට නොවේ.
“මහණෙනි, පොළොව මත පිහිටා කර්මාන්තයෝ පවතීද, එලේසින්ම ශීලය මත පිහිටා මේ චිත්ත විශුද්ධිය පවතී.”

එසේ ආරම්භ කරන්න…අවසානයේ….සියල්ල අත හරින්න..
ධර්මයත් අත හැරිය යුතු දිනයක් එළඹෙනු ඇත..
එදිනට මමත් නැත.. මාගේ කියා කිසිවකුත් නැත.. ලෝකයත් නැත.. යළි පැවැත්මකුත් නැත.. දුකකුත් නැත.
පැවතීමම දුකක් බව දැන, නොපැවතීමම සුඛය බව දැන ගනු ඇත.

පාරුව අත හැරිය යුත්තේ ගමනාන්තයට ළඟා වූ විට පමණි. ගමනාන්තයේදී පාරුවද, හබලද අත හැරිය යුතුමය.. නමුත් ඊට පෙර…එය අත හැරියහොත් ඔබ මේ කෙලෙස් සාගරයේ ගිලී මියැදෙනු ඇත..

එහෙයින් ඒ බුදු පියාණන් දෙසූ සීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ වීර්යයෙන් ගමන් කරමු. තමන් දෙසම බල බලා පිරිසිදු වෙමින් , මාර්ගය වඩමු.

තමාගේ සරණ තමා විසින්ම සලසා ගනු හැර අන් විකල්පයක් නොවේ..

නමුත් ඒ සඳහා බුදුවරු සිථිරවම පෙන්වා දුන් මාර්ගයක් ඇත.

ඒ ස්තිර සාර මාර්ගයේ සතුටින් පිය මනින්න.
ඔබට තෙරුවනේ ආශිර්වාදය ම වේවා!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhoo

You might also like
en English
X
X