Temples of Sri Lanka

ලක්දිව බුදු සසුන පිහිට වූ අසිරිමත් පොසොන් පොහෝ දින අදයි

බුද්ධ වර්ෂ වර්ශ 236ක් වූ පොසොන් පුර පසළොස්වක් පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථේරවාදී බුදුසමය හඳුන්වා දුන්හ. උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය ,සම්බල, භද්දසාල, යන රහතන් වහන්සේලා සතර නමක් ෂට් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ, භණ්ඩුක නම් අනාගාමී උපාසකත් ,යන රාජකීය ධර්මදූත පිරිස මෙහි සැපත් වූහ .

මෙම මහින්දාගමනය සිදුවූයේ තෙවැනි මහා ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි, ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රාහකත්වයෙන්, පැවති එම තෙවැනි ධර්ම සංගායනාවෙන් සිදු වූ මාහැඟි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදු දහම, එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ඒ අනුව ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ ධර්මාශෝක අධිරාජයා ස්වකීය පුත්‍රයා වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් මෙරටට පිටත්කොට හැරීය.

දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපත් දූත පිරිස, එහි දී දේවානම්පියතිස්ස රජු මුණ ගැසිණි. මිහිඳු මහරහතන් වහන්සේ මහරජුට ස්වකීය දූත පිරිස මෙසේ හඳුන්වා දුන්හ.

සමණාමයං මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධා ගතා

මහරජතුමනි, ශ්‍රමණයන් වන අපි ධර්මරාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.

දඹදිව සිට කෙසේ පැමිණියාහු? දැයි රජු ඇසූ ප්‍රශ්නයට ,

මිහිඳු මහරහතන් වහන්සේගේ ලිහිල් පිළිතුර වූයේ, දියෙන් හෝ ගොඩින් හෝ නොව යන්නයි. එම පිළිතුර රජු තේරුම් ගත් බැව් දත් මිහිඳු මහරහතන් වහන්සේ රජුගේ බුද්ධි මට්ටම පරික්ෂා කිරීමට ප්‍රශ්න කිහිපයක් ඇසූහ .

මෙසේ සිදුකළ විධිමත් බුද්ධි පරීක්ෂණයෙන් පසු, මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මනා බුද්ධිමතෙකු බව අවබෝධ විය. අනතුරුව පිරිස් සහිත රජුට තෙරුවන් පිළිබඳ බෞද්ධ චින්තනය පිළිබඳව හඳුන්වා දීමට චුල්ල හත්ථිපදෝපම සූත්‍රය දේශනා කළේ ය. දේශනාව අවසානයෙහි රජු ප්‍රමුඛ හතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. මහින්දාගමනයෙන් දෙවැනි දිනයේ දී රජ ගෙදර දී පේතවත්ථු, විමානවත්ථු සච්ච සංයුක්තා දිය, මුල්කරගෙන ධර්ම දේශනා පැවැත්විය.

මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන්, සිය අසල් වැසියන්ට ඒ ගැන දැන් වූ හෙයින්, මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක්රැස් වූහ. එක් රැස් වූ ඒ සියලු දෙනා රජමැදුර ඉඩ මද වූ හෙයින් රජු මඟුල් සල සරසා එහි අසුන් පැනවීය. ඉක්බිතිව මිහිඳු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේවදූත බාල පණ්ඩිත, ආසිවිසෝපම ,අනවතග් ගිය, ධම්මචක්කප්පවත්තන, යනාදී සූත්‍ර දේශනාවන් පවත්වා …දහස් ගණනින් ජනයා මාර්ගඵල අවබෝධයට පත් කර වූහ.

මිහිඳු මා හිමියන් ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේලා ගේ වාසස්ථානය සඳහා මහමෙව්නා උයන පූජා කළ රජු, උන්වහන්සේ සමඟම එම උයන වටා ඇවිද සීමා මාලක ආදිය පිහිටවිය යුතු තැන් නියම කරවා ගත්හ. දූත පිරිස සමග සැපත් භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලංකාවේ මුල්ම පැවිදි උපසම්පදාව ද ඇරඹිණි .

මෙසේ අනුබුදු මිහිඳු මහරහතන් මහරහතන් වහන්සේ ථේරවාදී බුදු සමය මෙරටට හඳුන්වා දීමත් සමඟම එතෙක් මෙරට පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වූ බව මේ අනුව පැහැදිලිය. මෙකී සංස්කෘතිය නිසා මෙරට ජනතාවගේ බුද්ධි ක්‍රියාකාරීත්වය, අන්තර්පුද්ගල සබඳතාව, ඉතා ඉහළ මට්ටමකින් පෝෂණය විය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හඳුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නොවේ .

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන්ගේ සිතුම් පැතුම් ආකල්ප විශ්වාස හා අදහස් උදහස් සියල්ල පිළිබඳ මනෝවිද්‍යාත්මක අංශයෙන් අවධානය යොමුකොට සිදුකළ අති උදාර වූ ධර්මදූත සේවාව පිළිබඳව සිහි කිරීම ශ්‍රී ලංකාවාසීන් ද සිදුකළ යුතු වටිනා දෙයකි .

රටක අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතිය, නව සංස්කෘතියක් ආදේශ කර වීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. එය ඉතා විචාරශීලි බුද්ධිමය පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියටද හානියක් නොවන ලෙස සිදුකල යුත්තකි. මිහිඳු මහරහතන් වහන්සේ මෙහිදී සිදු කළේ ප්‍රාග් බෞද්ධ යුගයේ ලංකාවේ පැවති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි .පැවැති සංස්කෘතිය හෙළා දැක විවේචනය කිරීමත්, එය සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමත්, මෙහිදී සිදු නොවිණි.

මිහිඳු මාහිමියන්ගේ මෙකී දූරදර්ශී වැඩ පිළිවෙල නිසාම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූවන්,බෝධි වන්දනාව හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුනහ. ගිනි දෙවියන් පිදීම සිවුකල වුන්, බුදුරජාණන් පිදූහ. මළවුන් ඇදහූවන් මළවුන්ට පින් අනුමෝදන් කර වීමෙන් එම යුතුකම් සිදු කළහ.

ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය ,චිත්‍ර ,මූර්ති, කැටයම්, ගෘහ නිර්මාණ ශිල්පය, යනාදියට පාදම මහින්දාගමනයයි. සිංහල අක්ෂර සම්ප්‍රදාය තත්ත්වයකට හැඩ ගැසුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි.

මහින්දාගමනයෙන් පසු සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් සමග සිරිලකට වැඩම වීම නිසා අද අපට උරුම වූ සංස්කෘතික දායාද රාශියකි.

තවත් අතකින් බැලූ කල මහින්දාගමනයත් සමගම අපට උරුම වූයේ එවකට ලෝකයේ පැවති විශිෂ්ටතම කලා සම්ප්‍රදාය වන මෞර්ය කලා සම්ප්‍රදායයි.බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂී දායකත්වයකි.

සඳකඩ පහණ ,වාහල්කඩ, වැනි කලා නිර්මාණ සේම, මහා කළු ගල්වලට පණ පෙවූ සමාධි පිළිමය, අවුකන පිළිමය, වැනි විශ්ව කලාවේ සමතැන් ගන්නා අග්‍රගණ්‍ය කලාකෘති නිම වූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි.

මහින්දාගමනයත් සමඟ වැවයි දාගැබයි කෙතයි යන සංස්කෘතික සබැඳියාවේ ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත්වීමත්, අපගේ අනන්‍යතා ලක්ෂණ මනාව මූර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ හැකිය .

මහින්දාගමනයත් සමගම අපට උරුම වූ උසස් සංස්කෘතික හර පද්ධතීන්,හා කලා නිර්මාණ මතු අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම සඳහා ක්‍රියාකිරීමට අද වන් වූ උතුම් පොසොන් පොහොය දා අපි තරයේ අදිටන් කර ගනිමු.

මිහින්තලාවෙන් බැස එන පඩි පෙල අතරේ
ගලාබසී සදහම් අම ගඟුලැලි දහරේ
පහන් සිලේ ආලෝකය විහිදා දසතේ
ලොවක් පිපෙන පැතුම් ගෙනෙමු පොසොන් උදාවේ …..

සිත් පහන් වී දැල්වෙන, උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක් වේවා !!
මේ බෞද්ධ සහෝදරත්වයේ පැතුමයි .

You might also like
en English
X
X