Temples of Sri Lanka

“පිලිවෙල” ජීවිතය “පිළියෙල” කරයි…

කිසියම් පුද්ගලයෙක් භාවනාවට සිත හොඳින් පුරුදු කරන විට,ඒ හිතේ ප්‍රමුදිත භාවය හටගන්නවා.

ප්‍රමුදිත භාවය කියලා කියන්නේ සිත නීවරණ වලින් බලවත් පීඩාවිඳින ස්වභාවයෙන් ඈත් වීම.නීවරණ වලින් බලවත් පීඩා වෙනවානම් සිත ප්‍රමුදිත නැහැ .සිත පහසු තාවයන් තුළ තමයි ජීවත් වන්නේ. ප්‍රමුදිත ස්වභාවයට පත් වුණා කියලා කියන්නේ නීවරණ වලින් බලවත් පීඩා එයාට සිදුවන්නේ නැහැ කියන එකයි. නීවරණ නැත්තටම නැති වෙන්නෙත් නැහැ . යම් යම් අවස්ථාවල දී බලවත් සේ පීඩාත් ගෙනදෙනවා.

නීවරණ හරහා බලවත් පීඩා ඇති වෙන්නේ මොන වගේ අවස්ථාවලදී ද කියලා අපි බලමු….

වහිනකොට පොළවේ ඉන්න පුංචි පුංචි සත්තුන්ට පන එනවා. පායන්නට පටන් ගත්තහම උන්ට පණ නැතුව යනවා. එහෙම නේද ..? එතකොට උන්ගෙන් බාධා පීඩා අපිට අඩුයි. එහෙනම් මේ සත්වයින්ට සුදුසු පරිසරයක් හැදෙනකොට එයාලගෙන් ඇතිවන කරදර වැඩී වගේම, අපිට නීවරණ වලින් බාධා පීඩා කරදර එන්නේ නීවරණ පෝෂණය වෙන්නට සුදුසු පරිසරයක් ඇති වෙනකොටයි.

මේ නීවරණ සඳහා පෝෂණය වන්නට අවස්ථාව අප ලබා දෙන තාක් නීවරණ වලින් එන පීඩා අඩු වන්නේ නැහැ.මේවා අඩු කරගැනීමට නම්, ඉන්ද්‍රිය සංවරය හොඳින් පුරුදු කර ගන්නට ඕන.සිල් පද හොඳින් රැක ගන්නට ඕනේ. එතකොට නීවරණ දියුණු වීම සඳහා අවස්ථාව සපයන දොරටු වැහෙනවා.

මේ ආකාරයට සමථය හෝ වේවා විදර්ශනාව හෝ වේවා ඒ භාවනාවන් ටිකෙන් ටික හොඳට පුරුදු කරන විට, නීවරණ වර්ධනය සඳහා අවශ්‍ය අවස්ථා වැසී යනවා .ඒ වෙනුවට කුසලයක් සිතේ පුරුදු වෙනවා. නීවරණ කියන්නේ අකුසලයක්. දැන් ඒ අකුසල් හිතේ පුරුදු වෙන්නේ නැහැ. කුසලය වැඩෙනවා. අකුසලයට පුරුදු වීමට ඉඩක් නැහැ. සිහිය දියුණු කරගන්නට මහන්සි වෙනවා. එතකොට නීවරණ යටපත් වෙනවා. දැන් සිත සිත මනා ප්‍රමුදිත තත්ත්වයකට පත්වෙලා.

නැවුම්, අලුත් , අලස ගතියක් හිතෙන් නැති, සිත ප්‍රාණවත්… අන්න ඒ ස්වභාවය අප වඩාත් ම තේරුම් ගත යුතු අවස්ථාවක්. මෙය ඉබේ සිදුවන දෙයක් නම් නොවෙයි . අප විසින් වඩවා ගත යුතු දෙයක්.

මේ ප්‍රමුදිත භාවය ඇතිවෙන්නට සිතේ පසුතැවෙන ස්වභාවය නැති වී යා යුතුයි.සිත පසුතැවෙවා නම්, ප්‍රමුදිත වන්නේ නැහැ .
තමන් කළ කී දේ වෙනුවෙන් පසුතැවීමට පත් වන විට තමන්ගේ සීලය පළුදු වී යනවා.

අතීතය මතක් කරමින් දුකට පත්වෙනවා නම්, ඉන්ද්‍රිය අසංවර වුනා නම්, සතුටු වෙන්ට කාරණාව උපදින්නේ නැහැ. දුටු දෙයක් පිළිබඳව කනස්සල්ලෙන් වාසය කරනවා නම්, ඉන්ද්‍රිය සංවර සීලය අප අතින් සිදුවී නැහැ.

සිල් පද බොහෝ දෙනා විසින් රැක ගත්තොත් ඒ කියන්නේ සීලය හොඳින් සම්පූර්ණ කර ගත්තොත් පසු තැවෙන ස්වභාවය නැති කරගන්ට පුළුවන්. සීලය පිරන කෙනාට පසුතැවීම නැති වෙලා යනවා. පසුතැවීම නැති උනහම සිත ප්‍රමුදිත තාවයට පත්වෙනවා. එසේ නීවරණ සම්පූර්ණයෙන් යටපත් කරගන්නට හැකියාව ලැබෙනවා.

ඒ භාවනා අරමුණු පමණක් එයාගේ හිතේ පවත්වන්නට පුළුවන් කමක් ලැබෙනවානම්, සිත බලවත් විවේකයෙන් තියෙන භාවනා අරමුණු පවත්වා ගත හැකි සිතක් අපට ලැබෙනවා

මුලින්ම අපි සීලය සම්පූර්ණ කර ගනිමින් ආරම්භ කරමු .ඒ එක්කම බණ භාවනා කරන අතරම සීලයසම්පූර්ණ කර ගනිමින් භාවනාව පුරුදු කරමු .

දුක පිළිබඳව අවබෝධය මනා ලෙස වර්ධනය කරමින් ශ්‍රද්ධාව වඩවමින් පිරිසුදු වූ නිර්වාණ මග දියුණු කර ගැනීමට භාග්‍ය උදාකර ගනිමු .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X