Temples of Sri Lanka

පරිහානිය ඉවත ලා දියුණුවේ පා තබමු…

දියුණුවට කවුරුත් අකැමැති වන්නේ නැත. පරිහානියට කවුරුත් අකැමැති ය. විවිධ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නේ සහ නොයෙකුත් දේ වල යෙදෙන්නේ දියුණුව සඳහා ම ය. වෙහෙස මහන්සි වී ලබාගත යුත්තකි දියුණුව.පරිහානියට එබඳු වෙහෙස මහන්සියක් අවශ්‍ය අවශ්‍යවන්නේ නැත .මේ නිසා දියුණු වෙන්නාත්, පිරිහෙන්නාත් පහසුවෙන් හඳුනාගත හැකිය.

දියුණුව සොයා යන්නා නැවියෙකු හසුරුවන නැවක් බඳුය. පරිහානියට ගොදුරු වන්නා හසුරුවන්නේ නැතිව නිදැල්ලේ පාවී යන නැවක් බඳුය. අපි අපේ ජීවිතය ක්‍රමවත්ව හසුරුවන්නේ නම් පරිහානියට ලක් නොවී ආරක්ෂා විය හැකිය. මිනිස් ජීවිතය පරිහානි මුඛයෙන් බේරා ගැනීම සඳහා ඉවහල්වන ඉගැන්වීම් රැසක් බුදු දහමෙහි අන්තර්ගත වී ඇත .පරාභව හා වසල යන සූත්‍ර දෙක ඒවා අතර ඉතා ප්‍රකටය .

පරාභව සූත්‍රයෙහි ඉගැන්වෙන පරිහානිය කරුණු කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි.

පුද්ගල ජීවිතය පරිහානියට පත් කරන කරුණු

පුද්ගල ජීවිතය මෙන්ම සමාජ ජීවිතය ද පරිහානියට පත් කරන කරුණු
යනුවෙන් ඒ කොටස් දෙකයි .

කුසල ධර්ම අප්‍රිය කිරීම
අකුසල ධර්ම ප්‍රිය කිරීම
නිදිබර බව
දොඩමළු බව
වීර්යයෙන් තොර බව
කම්මැලි බව
කිපෙනසුලු බව
සුරාසොඬ බව
සූදුවෙහි ලොල් බව
වයසට නොගැළපෙන අය සමඟ ආවාහ විවාහ වීම
අරපරෙස්සමෙන් තොර අය වගකිවයුතු තනතුරු වලට පත් වීම
තම ශක්තියට වඩා ඉහළ තනතුරු පැතීම

යනු පුද්ගල ජීවිතය පිරිහෙන කරුණු ලෙස දක්වමු .

මෙහි ලා ගැනෙන එක කරුණක් වුවත් පුද්ගලයකුගේ මුළු ජීවිතයම අන්ධකාරයට හෙලීමට සමත් වෙන බව අප සිතිය යුතුය.

කුසල යනුවෙන් බුදු දහමෙහි ඉගැන්වෙන්නේ තමාටත් අනුන්ටත් සමාජයටත් හිත වැඩ සැලසෙන ක්‍රියාය. අකුසල යනු තමාටත් අනුන්ටත් සමාජයටත් සහිත අවැඩ සලසන ක්‍රියාය. පුද්ගලයා කුසලයෙහි යෙදිය යුතු අතර අකුසලයෙන් ඈත්විය යුතුය. එසේ නොකොට කුසලයට අකැමැතිව ක්‍රියා කරන්නා සත්ව ඝාතනය සොරකම ආදී වැරදි ක්‍රියාවන්හි නිරත වෙයි එයින් ඔහු නන්වැදෑරුම් විපතෙහි වැටෙයි .

පුද්ගලයෙක් සාමාජික වශයෙන් පරිහානියට පත්වන කරුණු මොනවාදැයි මදක් විමසමු .

අසත්පුරුෂයින් ප්‍රිය කිරීම
මවුපියන්ට නොසැලකීම
පූජ්‍යන්වහන්සේලා බොරුවෙන් රැවටීම
තනිවම සැප සම්පත් පරිභෝජනය
උඩගුකම
කාමාපරාධ වල යෙදීම යනු ඒවායි .

මෙම වැරදි වල යෙදෙන්නා සමාජයේ පිළිකුලට ලක්වන අතර කෙබඳු හැකියා තිබුනත්, සමාජය විසින් ඔහු කොන් කරනු ලැබේ .

වසල සූත්‍රය දේශනා කරන ලද්දේ, අග්ගික භාරද්වාජ බමුණා ට ය. දිනක් බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර පිඬුසිඟා වඩින විට, අග්ගික භාරද්වාජ බමුණා ගේ නිවසෙහි ගිනි දල්වා යාගයක් ආරම්භ කර තිබුණි. බුදුරජාණන් වහන්සේ ඔහුගේ ගෙදරට ද පිඬු සිඟා වැඩියහ. බමුණා බුදුරජාණන් වහන්සේ දුරදීම දැක කිපී… මුඩුමහන ,වසලය, ඔහිම නතර වේවයි.. බැන වැදුණේය .

බුදුරජාණන් වහන්සේ එම අවස්ථාවේ බමුණ නුඹ වසලය.. කවුද? වසල ගති කවරේද? කියා දන්නේ දැයි විචාළහ. බමුණා භගවත් ගෞතමයන් වහන්ස.. වසලය යනු කවුද? වසල ගති කවරේ දැයි.. මා දන්නේ නැත .

එය කියා දෙනු මැනවැයි ඉල්ලා සිටි කල්හි වසලයා හඳුන්වා දෙනු පිණිස වසල සූත්‍රය දේශනා කළ සේක. මෙම සූත්‍රයෙහි අවසානයේ එහි සාරය ඇතුළත් වන පහත ගාථාව ද විග්‍රහ කරන ලදී

නජජ්ජා වසලෝ හෝතී
නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ
කම්මනා වසලෝ හෝති
කම්මනා හෝති බ්‍රාහ්මනෝ

(උපතින් වසලයෙක් නොවේ. උපතින් බමුණෙක් ද නොවේ. ක්‍රියාවෙන්ම වසල යාවේ. ක්‍රියාවෙන්ම බමුණා වෙයි.)

සමාජය පිළිගත් සදාචාර ධර්මයන්ට පටහැනි වූ පහත් ක්‍රියාවල යෙදෙන්නා වූ පුද්ගලයා වසලයකු බව මෙයින් තේරුම් ගත හැකිය. මෙම සූත්‍ර දේශනාවෙන් වසල ගති තේරුම්ගත් අග්ගික භාරද්වාජ බමුණා ගිනි පූජාව අත්හැර දමා තෙරුවන් සරණ ගොස් බෞද්ධයෙක් බවට පත් විය. මෙම වසල ගති වත්මන් සමාජයෙහි ද සුලබව දක්නට ඇත. මිනිසා වසලයකු නොවීමට නම් වසල සූත්‍රයෙහි ඉගැන්වෙන වසල ගති වලින් ඈත් විය යුතුය.

වසල ගති වර්ග මෙසේ දැක්වීමට පුළුවන් .

තමන්ගේ අභ්‍යන්තරය පිරි හෙළන
වසල ගති

කිපෙනසුලු බව
වෛර කිරීම
ගුණමකුකම
වැරදි දෘෂ්ටිය
නැති ගුණ පෙන්වන මායාකාරී බව
කළ වරද සැඟවීම
මානයෙන් තමා හුවා දක්වා අනුන් හෙළා දැකීම
අනුන් කුපිත කරවන අනුන්ට කිසිවක් නො දෙන ලාමක පහත් අදහස් දරන මසුරු කපටි වරද කිරීමට ලැජ්ජා බිය නැති ගති තිබීම
රහත් ගුණ නැතිව රහතකු වශයෙන් පෙනී සිටීම

සමාජය පීඩාවට හෙළන වසල ගති

දයාවෙන් තොර ව සත්ව හිංසාවේ හි යෙදීම ගම් නියම් ගම් පැහැරීම්
සොරකම් කිරීම
ණය නොගෙවා මගහැරීම
මංකොල්ලකෑම
බොරු සාක්කි දී ම
නෑ මිතුරන්ට ද්‍රෝහි ව ඔවුන්ගේ බිරිඳන් පෙළඹවීම
වැඩිහිටි නෑදෑ ආදීන්ට පරුෂ වචනයෙන් බැන වැදීම
අනුන් නොමඟ යවන උපදෙස් දීම
පැවිදි උතුමන් යදියන් වැනි අය බොරුවෙන් රැවටීම
බොරු බස් කියා අනුන් මුළා කොට යම් යම් දේ ලබා ගැනීම
බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේට වෙනත් පැවිද්දන්ට ගිහියන්ට පිරිහෙළා කතා කිරීම

යුතුකම් ඉටු නොකිරීමේ වසල ගති

මහලු දෙමාපියන්ට නොසැලකීම
අනුන්ගෙන් සංග්‍රහ ලබා පෙරළා සංග්‍රහ නොකිරීම
භෝජන වෙලාවෙහි පැමිණි පැවිදි උතුමන්ට සංග්‍රහ නොකර බැන වැදීම

මේ ආකාරයෙන් බලන විට පරාභව හා වසල යන සූත්‍රවල දැක්වෙන කරුණු සෑම සමාජයකම දක්නට ලැබෙන සුලභ මානසික දුර්වලතා ලෙස හදුනා ගනිමු. සමාජයක සදාචාරාත්මක පදනම සදාචාරාත්මක පැවැත්ම දෙදරා යාමට මේවා හේතු සාධක වෙයි. ඒ නිසා මේවායින් ඈත්වීම සදාචාර සම්පන්න සමාජයක පැවැත්ම උදෙසා අත්‍යාවශ්‍ය කරුණු ලෙස පැහැදිලි කරමු .

එසේම මෙම කරුණු පදනම් කරගනිමින් ඔබ සිටින්නේ කොතැනකද… ඔබ සතු පිරිහීමේ කරුණු මොනවාද ..ඔබ නොදැන සිටි සමහර කරුණු නිසා ඔබ පිරිහී ඇත්ද… අභ්‍යන්තරය පිටතට ගෙන ඔබට ඔබව සමීක්ෂණයකට ලක් කිරීමට කාලයයි.

පිරිහීම යන මේවායින් ඈත් වී නොපිරිහෙන සමාජයක අරුණලු දැකීමට ඔබටත් දායක විය හැකියි. ඔබගේ අභ්‍යන්තර ගුණ වගාව වර්ධනය කරනවාත් සමගම සමාජානුයෝජනයට ඔබගෙන් එක්වන නොපිරිහුණු ධර්මයන් මගින් සමාජයම සුවපත් වනු ඇත..
තෙරුවන් සරණයි .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X