Temples of Sri Lanka

පමා නොවී දිවි මග කුසලින්…. පුරවා යනු මැන ඔබ සතුටින්….

දිව්‍ය සභාවේ දිව්‍ය ආසන දෙවි දේවතාවුන්ගෙන් පිරී ඇත.

නේකවර්ණ සළුපිළි පොරවා ගත් දෙවිවරු ඒ ඒ වර්ණයෙන් අලංකාර වූ ආසන මත සුවපහසුව වැඩහිඳිති.

පරිවාර දේවතාවෝ ප්‍රධාන දෙවිවරුන් අසල සිට පවන් සලති.

නේක වර්ණ මාලා දාම යන්ගෙන් සැරසුන අමාත්‍ය දෙවිවරු ප්‍රධාන දෙවිඳුන් පැමිණෙන තුරු මග බලා සිටිති.

අද දිව්‍ය සභාවේ ධර්ම සාකච්ඡාව පැවැත්වෙන දිනයයි.

ධර්ම දේශනාව මෙහෙයවන බ්‍රහ්මරාජයා ට වඩින්නට තව කල් වේලා තිබෙන බැවින්, ස්වර්ණවර්ණ වූ කිරීටය හිස දරා ගත් දෙවියන්, මනු ලොව සතර දෙසේ ආ ගිය තොරතුරු සොයා ගිය අමාත්‍ය දේවතාවන් වෙතින් තොරතුරු විමසන වේලාවයි……

එම්බා…දෙවිඳ, කෙසේද මනුලොව තතු ?

මිනිසුන් අප්‍රමාදී වෙනවාද?

ධර්මයේ හැසිරෙන වාද?

බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සමරන වාද?

දෙවි රජුනි , සමාවුව මැනව….

ඔබ සිත පහන් වන පිළිතුරක් දෙන්නට මාස ගණනක් මධ්‍යයේ බුදුරජාණන් වහන්සේ උපන් දඹදිව පුරා සැරි සැරුවෙමි. තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් දඹදිව නැති තරම්ය. ධර්මය හැසිරීමක් ගැන කවර කතාද….. මිනිසුන් කොටසක් ක්‍රීඩා පිටි වට කොටගෙන ඔල්වරසන් නගති. තව පිරිසක් රිදී තිරයේ තාරකාවන්ට වසඟ වී සිටිති. ඒවාට යන්නට මුදල් නැති පිරිස, දවසම වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදලින් සූදු කෙළ පැරදී කම්මුලේ අත ගසා ගෙන සිටිති. තව එකෙක් සුරාවෙන් මත්වී තැන තැන වැටී ය. මී ගවයෝ ද ගැන වගක්වත් එහි නැත.

හ්ම්….එසේද එහි තතු…එතකොට

ලුම්බිනිය……..

බුද්ධ ගයාව………

සතුන් දහස් ගනනක් මරා බිලි පූජා පවත්වන්නෝ එමටය . තෙරුවන් සරණ ගිය උපාසක වරු නම් දුලභය. පිට දේශ වලින් එන සැදැහැවතුන් කිහිප දෙනෙකු පමණක් දුටුවෙමි. ඒත් ඒ බොහෝ දෙනෙකුගේ සැදැහැ සිත විච්චූරණ සාරි කඩ අසලදී අහවර වන සැටි ද දුටිමි. අමාරුවෙන් පිරිසකට තිසරණය කියා දෙන්නට උත්සාහ ගන්නා ශ්‍රමණයන් වහන්සේලා කීප නමක් පමණක් දුටු වෙමි. එහෙත් මා එතනට කිට්ටු වන විට කළු සළු පොරවා ගත් බල සම්පන්න කෙනෙක් මග අවහිර කර මෙසේ කියා සමච්චලයට සිනාසුනි. ඕක ටිකකාලයයි ……

ප්‍රධාන දෙව්රජු වම් පසට හැරී අනෙක් දේවතාවා විමසයි…..

එම්බා..දෙවිඳ…….

කෙසේද ලක්දිව තතු….?

මිනිසුන් අප්‍රමාදී වෙනවද …..

ධර්මයේ හැසිරෙන වාද …

වෛශාක්‍ය මංගල්‍යය ප්‍රතිපත්තියෙන් පුදන වාද …?

දෙව් රජුනි මම ලක්දිව පුරා සැරි සැරුවෙමි. එහෙත් ඔබතුමාට දෙන්නට ඇත්තේ ඉහත වූ පිළිතුරට සමාන පිළිතුරකි .

මොනවා මේ වෛශාක්‍ය මංගල්‍යය පවතින කාලය නොවෑ…. එසේ වීත්…?

පින්වත් දෙව් රජුනි……..

ඔවුන් වෛශාක්‍ය මංගල්‍යය නම් මහ ඉහළින් සමරති. එහෙත් අමුතුම විදියකටය.

ඒ කෙසේද …?
කෙසේ ද …..?
නො වළහා මේ දිව්‍ය සභාවට ඇති තතු පවසනු…….

පින්වත් දේවයනි…..

ඔවුන් තොරණ් ගසන්නට සමාදන් කරති. කොටසක් යටිමඩි ගසති. තොරන් බඳින්නන් මධු පානයෙන් මත් වී තොරන් බඳිති. විදුලි බුබුළු සවි කරති .වෙළෙන්දෝ තොරණ බලන්නට එන්නන් ගසා කති. තොරන් බඳින්නන්, තොරන් බලන්නන්, තිසරණය ගැන නොදනිති. සීලය ගැන කවර කතාද…?

ඔවුන් වෙසක් කූඩු ප්‍රදර්ශන පවත්වති. මහජනයා වැල නො කැඩී, කූඩු බලන්නට එති. මුදල් අය කරමින් , එකතු වන මුදලින් ස්වල්පයක් තොරන් බඳින්නවුන්ට තෑගි දෙති. එතකොට දන්සැල් ද බොහොමයක් තිබේ….දෙවි රජුනි. ඒවාට කිසිසේත් අදාල නැති විකාර ගීත මහ හඬින් හැඩ වෙයි . පාරේ යන වාහන බලහත්කාරයෙන් පුදති . නැති බැරි අයවලුන් කුසගින්නෙන් තැවෙති. සැප වාහන ඇත්තෝම දන්සැල කරා ඇදෙති.

එතකොට සාමාන්‍ය ජනයා ….

පින්වත් ශාස්තෘන් වහන්සේ සිහි කරමින් භට කපා, කොල අලවා , දවස් ගණනක් වෙහෙස වී පහන් කූඩු තැනූ යුගයක් අතීතයේ නම් තිබී ඇත .එහෙත් දැන් එය නැත.වෙසක් පහන් කූඩුවක් තනන්නට වත් දැන් නොවෙහෙසෙති. ව්‍යාපාරිකයෝ මහජන හිතසුව පිණිස වීදිපුරා වෙළඳසැල් පුරා වෙළඳසැල්වල පහන් කූඩු විකිණීමට තබා තිබේ .ඔවුන් ඉන් කීපයක් ගෙන නිවෙස ඉදිරියේ එල්ලති. එවිට ඔවුන් බෞද්ධයන් බව දැන ගනිති.

ඔවුන් පෝයදාට උපෝසථ සමාදන් වනවාද ?

දේවයනි….ඔවුනට රාජකාරි බොහෝය. පොහොය දවස යනු …ඔවුනට මසකට වරක් ලැබෙන එකම නිවාඩු වයි. ඒ දවස ඔවුන් විනෝද ගමන් නෑ දෑ ගමන් යාමට යොදා ගනිති. ඉඩ ලැබුනොත් හවසට පන්සල පැත්තේ ගිහින් එති.

ඔවුන් සමාධිය වඩන වාද ?

එසේය.. දෙවයෙනි ….ඔවුන් නොවරදවා සමාධිය නම් වඩති. නිවෙස් තුළ රූපවාහිනිය නම් එකක් ඇත. ඒ තුළ දඹදිවත් වෙන රටවලත් පෙන්වා ඉවත් කළ දීර්ඝ කතාමාලා හඬ කවා නැවත පෙන්වති. වැසියො දවසට පැයක් හමාරක් නම්, ඒ ඉදිරියේ වාඩි ගෙන මිථ්‍යා සමාධිය වඩන්නට අමතක නොකරති.

ඔවුන්ගේ ඇවතුම් පැවතුම් සංවරද?

දේවයනි..වෙසක් බලන්නට යයි කියා මිනිසුන් ලොරි වල, ට්‍රැක්ටර් වල ද නගිති. වෙස්මුහුණු පලදා අමනුෂ්‍ය වෙස් ගනිති. එක එකා අතින් අලාගෙන මහ හඬින් පිඹිති. හූ කියාගෙන කෑ ගසාගෙන පාරේ යන අයගේ අතින් පයින් ඇදගෙන හිස් වැසුම් ගලවා ගෙන යති. මාරක ළිඳේ යතුරු පැදියද මේ දිනවල පාර පුරා දැකිය හැකිය.

දේවයෙනි… මා ආපසු එන්නට හදන විට ද අර කළු සළු පොරවා ගෙන සිටි තැනැත්තා මටද මුණගැසුණි.. ඔහු සමච්චලයට සිනාසී …මේ ඔක්කොම දැන් මගේ වසඟයේ යැයි කීවේය .

එම්බා දෙවිඳ…
එතකොට සැබෑවටම සිල් ගුණදම් පුරන ඇත්තන් ලක්දිව වත් නැද්ද …

සිටිනවා ස්වාමීනි. ඒත් ඒ අය ද අනාගත ගැටලුවකට මුහුණ පා ඇති බව පෙනේ.

ඒ කිමෙක්ද…

ස්වාමීනි …ස්වාමියා ධර්මයේ හැසිරෙන විට, බිරිඳට අර කාලවර්ණ තැනැත්තා ආවේශ වෙයි. එවිට ඇය ස්වාමියා නොරුස්සයි. මවුපියන් ධර්මයේ හැසිරෙන විට දරුවන් අයාලේ ඇත. ගුරු ස්වාමීන් වහන්සේ ධර්මය හැසිරෙති නම්, ගෝල ස්වාමීන් වහන්සේලා වෙනතක වඩිති. මෙබඳු තත්ත්වයක් හමුවේ බොහෝ දුක් ගැහැටයන් ඔමැද… කොහොම ධර්මයේ හැසිරෙන්නද… ධර්මයෙහි හැසිරෙන,පිරිසක් නැත්තේද නොවේ.. ඒත් ස්වල්පයකි.

මෙසේ වී ඇත්තේ මක්නිසාද ඔබට සිතෙන්නේ ……

මේ මනුලොවින් ධර්මය අතුරුදහන් වන යුග යැයි කියා මට සිතේ. අර කළු සළු පොරවා ගත් තැනැත්තා ඔහුගේ සියුම් වර පටින්, දනන්ගේ ඇස් ඩැහැගෙන සිටියි. කන් ද ඩැහැ ගෙන සිටී. නාසා ද රැගෙන සිටී. දිවද ඩැහැ ගෙන සිටී. මසෙකු බිලි ගැනීමට අමුණා ඇති සෙයින් සිතද ඩැහැගෙන සිටී. මේවා වඩ වඩාත් තදින් ග්‍රහණය කරගත හැකි තාක්ෂණික මෙවලම් නිපදවමින් සිටී.

එවිට කිරීට නායක දේවතාවා සුසුමක් හෙලා ධර්ම සභාව අමතා ගැඹුරු හඬින් මෙසේ තෙපලූ හ.

දෙවිවරුනි, හිස ගිනි ගත්තේ වුවද ඒ ගින්න නිවනවාටත් වඩා වැඩි වෙහෙසක් ගෙන මේ ධර්මයේ හැසිරෙන්නට අප්‍රමාදී වන්න ට යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මන්ද කියා ඔබට දැන් වැටහෙනවා නොවේද ….

මනුලොව පෙර කළ තිබූ ධර්මයේ හැසිරිය හැකි යුගය සැනකින් නිමාවෙමින් යන්නේ…

ඔබලා මිනිසුන්ට අනුකම්පා නම් මෙසේ කරන්න….

දෙව්ලොව තවමත් ධර්මයේ හැසිරිය හැකි පරිසරයක් තිබෙන බව ඔවුනට පවසන්න..

ඔවුන් අතරින් පින් ඇත්තන් ඔබ අතරට කැඳවා ගන්න….

මෛත්‍රී භාවනාව වඩන්න හා සෑම කල්හිම සියලු ලෝ සතුන් කෙරෙහි මෙත් සිතින් ම කල් ගෙවන ලෙස කියන්න….

ආදීනව සිහි කොට මනු ලොව නැවත නැවතත් උපදින්නට ඇති ඇල්ම දුරු කරගන්නට කියන්න…..

මුළු හදවතින්ම තෙරුවන් සරණ යන්නට කියා දෙන්න….අපට කරන්න පුළුවන් උපකාරය එපමනයි……

මෙය සිහිනයක්ද…

නැත….මෙය සිහිනයක් නොවේ ….මෙය සැබෑවක්ද …

ඔබ සිත මෙහෙයවිය යුත්තේ ඒ ගැන නොවේ

මෛත්‍රී භාවනාව වඩමින්, සෑම කල්හිම සියලු ලෝ සතුන් කෙරෙහි මෙත් සිතින් ම කල් ගෙවන්න. අනාගත අවදානම දැක මනුලොව හි නැවත නැවතත් උපදින්නට තියෙන ඇල්ම දුරු කරගන්න. සිත දියුණු කරගන්න. මුළු හදවතින්ම තෙරුවන් සරණ යන්න. සත්පුරුෂ භූමියට එන්න. අපට කරන්නට පුළුවන් උපකාරයද එපමණයි …

දිව්‍ය සභාවේ ධර්ම සාකච්ඡාව මෙතෙකින් සමාප්තයි

පමා නොවී දිවි මග කුසලින්
පුරවා යනු මැන ඔබ සතුටින්
සදා සරණ නොව අන් කිසියම්
තෙරුවන් සරණය සිත් රඳවන්….

මේ සුපැතුම්…
බෞද්ධ සහෝදරත්වයෙන්…

You might also like
en English
X
X