Temples of Sri Lanka

නිහඬ බවින් අවබෝධය වෙත පිලිපන් “සෙන්” දහම…

 – සෙන් පිළිවෙත –

වර්තමානයේ බුදු සසුන ථෙරවාද මහායාන යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. එසේම සෙන් බුදු දහම ගැනද අසන්නට ලැබේ. සෙන් බුදු දහම ඉතාමත්ම ප්‍රචලිතව පවතින්නේ ජපානයේ. ථෙරවාදය හා මහායානය ගැන යම් අවබෝධයක් අප රටේ බෞද්ධ ජනතාවට තිබෙනවා. එහෙත් සෙන් බුදු දහම යනු කුමක්දැයි බොහෝ සාමාන්‍ය ජනතාව කුතුහලයකින් පසුවේ. එමනිසා සෙන් දහම කුමක්දැයි පැහැදිලි කර කර දීම කාලෝචිත යයි හැඟේ.

සෙන් යන වචනය ධ්‍යාන යන සංස්කෘත වචන සඳහා චීන බසින් යෙදුන ,චාන් යන්නෙන් ජපන් බසට බිඳුනු වචනයකි.

එහි අදහස ධ්‍යාන යන්නයි. සෙන් බුදු දහම පළමුවෙන්ම බිහි වූයේ චීනයේ. චීනයට සෙන් සම්ප්‍රදාය හඳුන්වා දී ඇත්තේ භාරතයේ සිට චීනයට පැමිණි බෝධි ධර්ම නම් වූ භික්ෂූන් වහන්සේ නමක් විසින්.

සෙන් බුදු දහමේ පුරාවෘත්ත වලට අනුව බුදුරජාණන් වහන්සේ සෙන් ඉගැන්වීමේ ආදි කතුවරයාණන් වහන්සේයි.

එක් කලෙක බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ විසූ සේක. දිනක් මහා බ්‍රහ්මයා එහි පැමිණ රෝස මල් කළඹක් උන්වහන්සේට පිළිගැන්වූයේ ය. බ්‍රහ්මයාගේ පූජාව පිළිගත් බුදු රජාණන් වහන්සේ මල් කළඹ අත තබාගෙන වෙනදාමෙන් ධර්ම දේශනා නොකොට නිහඬව සිටියහ.එසේ මල් කිනිත්ත භික්ෂූන්ට පෙනෙන පරිදි අල්ලාගෙන සිටීමෙන් උන් වහන්සේ අදහස් කළේ සංකේතයක් මඟින් යමක් අවබෝධ කරලීමයි .නැත්නම් ධර්මය අධ්‍යාත්මිකව සම්ප්‍රේෂණය කිරීම හෙවත් සිත් වලට කාන්දු කිරීමයි.

බුදුරජාණන් වහන්සේ අදහස් කළ, එසේ සම්ප්‍රේෂණය කළ දහම ග්‍රහණය කර ගත්තේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පමණයි. බුදුරජාණන් වහන්සේ මද සිනහවක් පහළ කරමින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන් වහන්සේ සංකේතවත් කළ ධර්මය අවබෝධ කරගත් බව පළ කළ සේක.

මෙහිදී සිදුවූයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සිතට ධර්මය සම්ප්‍රේෂණය කිරීමයි. ඒ සෙන් දහම යි. මෙසේ මහා කාශ්‍යප හිමියන් අවබෝධ කරගත් ධර්මය ආධ්‍යාත්මික සම්ප්‍රේෂණ මාර්ගයෙන් සංඝ පීතෲන් වහන්සේලා 27 දෙනකු දක්වා පවත්වාගෙන විත් 28 වැනි සංඝ පීතෘවරයන් වහන්සේ වූබෝධිධර්ම හිමියන් ට අවසාන වශයෙන් එය ලැබිණි.උන්වහන්සේ විසින් ක්‍රිස්තු වර්ෂ 520 දී 520 දී භාරතයෙන් චීනයට එම දහම ගෙන යනු ලැබීය.

සෙන් සම්ප්‍රදායෙහි විශේෂ ලක්ෂණය නම් කෙනෙකුගේ සිතින් තවත් කෙනෙකුගේ ධර්මය සම්ප්‍රේෂණය කිරීමයි. මෙම අධ්‍යාත්මික සම්ප්‍රේෂණ මාර්ගය හැර වෙනත් කිසිදු ක්‍රමයකින් ධර්මාවබෝධය ලබා ගත නොහැකි බව බෝධිධර්ම හිමියන් ප්‍රකාශ කර ඇත.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැඹුරුයි .සත්‍ය අවබෝධ කර ගැනීම දුෂ්කරයි. එමනිසා ඇසීමෙන් හෝ කියවීමෙන් ධර්මය අවබෝධ කර නො හැකි නිසා සැබෑ ධර්මය ද පොත් පත් වල ලිවිය හැකි නොවේ. එම ධර්මය ඒ තරමට ගැඹුරුයි. ධර්මාවබෝධය ලැබිය හැක්කේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමෙනි. සෙන් දහමේ අදහස එයයි.

සෙන් දහම රැගෙන භාරතයේ සිට චීනයට පැමිණි බෝධිධර්ම හිමියන් ට එකල එහි ප්‍රචලිතව සිටි සර්වාස්තිවාදී නිකායේ නිකාය යන්ගෙන් මහත් හිරිහැර පැමිණියේය. එහෙත් උන්වහන්සේ ධර්මය ප්‍රචාරය කිරීමේ උත්සාහය අත් හළේ නැත. අවුරුදු හතක්ම බිත්තිය දෙස බලාගෙන භාවනාවේ යෙදුණු උන් වහන්සේ ඇසූ හැම ප්‍රශ්නයකටම නිශ්ශබ්ද ව සිටීමෙන් සෙන් සම්ප්‍රදාය කුමක්දැයි හඳුන්වා දීමට සමත් විය.

නිශ්ශබ්දතාවයෙන් යුතු අධ්‍යාත්මික ගවේෂණයේ යෙදීම හා භාවනාව මේ ක්‍රමයෙහි ලක්ෂණයයි. සම්ප්‍රදායෙහි නිහඬ බව මහත් සේ අගය කරයි.

බුදු සමයේ එන ආවාරින ශික්ෂාව සෙන් ආචාර සම්ප්‍රදායට පදනම් වී ඇත. සෙන් දහම චීනයේ දී ඉන්දීය සම්ප්‍රදායන්ගෙන් ඈත්ව සංවර්ධනය වූයේ 6 වැනි සංඝ පීතෘවරයා වූ පීතෘවරයන් වූ හයිනෙන් හිමියන්ගේ කාලයේ ඇතිවූ ප්‍රතිසංවිධාන නිසාය .ප්‍රධාන කොටස් පහකට හා අනු කොටස් 7කට සෙන් සම්ප්‍රදාය බිදී ගියේය.

සිහියෙන් යුතුව කටයුතු කිරීම සෙන් ඉගැන්වීමෙහි මූලික පදනමයි.

සතිපට්ඨාන සූත්‍රයේ එන ගතෙ ඨිතෙ නිසිත්තෙ සුත්තෙ ජාගරිතේ හසිතෙ තුණ්හීභාවේ සම්පජාන කාරිභෝතී… ආදී ලෙස දක්වා ඇති පරිදි හැම ඉරියව්වක් ම හැම ක්‍රියාවක් ම හැම මොහොතකම සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම සත්‍ය අවබෝධයට හේතුවන බව සෙන් බුදු දහමෙන් උගන්වයි .

සෙන් දහම අදහන ජපානයේ ප්‍රබල නිකායක් වන “රින්සායි” නිකායේ ආරම්භක සංඝ පීතෘවරයන් “ලින්චී” හිමියන් සෙන් සම්ප්‍රදාය හඳුන්වා දෙමින් ප්‍රශ්නෝත්තර නමින් රචනා කර ඇති ග්‍රන්ථයෙහි කරුණු 8ක් දක්වා ඇත.

ඒ මෙසේයි

යථාර්ථ අවබෝධය
අනුන් විසින් නො රැවටිය හැකි බව
ස්වයං තුෂ්ට භාවය හෙවත් කිසිම දේකින් හිඟයක් නැති බව
බාහිර දේ කෙරේ නොඇල්ම
ආත්ම විශ්වාසය
ශ්‍රාවකයා
තමා බුදුන්ගෙන් නොවෙනස් බව
විමුක්තිය

කරන හැම කටයුත්තකදීම ජීවත්වන හැම මොහොතකදිම යථාවබෝධයෙන් යුතුව ජීවත් විය යුතු බව මෙහි අවධාරණය කෙරේ.

ජීවත් වන හැම මොහොතක ම අප අපේම ස්වාමියා බව අමතක නොකළ යුතුය. ක්ෂණයක් පාසා වෙනස් වන හැම ඉරියව්වකදීම ඇත්ත දැන ගැනීම සඳහා තමා ශික්ෂණය විය යුතුය.

ආත්ම විශ්වාසයෙන් හා ආත්ම ශික්ෂණයෙන් මිස අනුන් ගැන විශ්වාස තැබීමෙන් සත්‍යය දැනගැනීමට නො හැකි ය. තමන්ගේ ස්වාමියා තමන් බව අමතක වූ කල නොමග යෑමට ඉඩ තිබේ. තමන් තමන්ගේ ගුරුවරයා බවට විශ්වාසය ඇති කල්හි පිටින් උපදෙස් සොයනවාට වඩා අභ්‍යන්තරයෙන් සත්‍ය මතුකර ගත හැකිය.

සෙන් දහම අදහන තවත් නිකායක් වන සෝනෝ නිකායිකයෝ අනුගාමික භාවනා පිළිවෙලක් ගැන උගන්වති. එය බොහෝ සෙයින් ම අපගේ සතිපට්ඨාන භාවනා ක්‍රමයට සමාන ය. ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීම ඔවුහු ක්‍රම කිහිපයකට ඉදිරිපත් කරති. ඔවුන්ගේ භාවනා ගුරුවරුන් රෝෂී නමින් හැඳින්වෙති.

භාවනාව සඳහා වාඩිවෙන ක්‍රම තුනකි .
*සුවාරි (අර්ධ පර්යංකය )
*හංකා(සිද්ධාසනය)
*කෙක්කා(පද්මාසනය)

ථෙරවාදී ක්‍රමයට වඩා මෙහි වෙනස වන්නේ ඇස් ඇරගෙන භාවනා කිරීමයි. සමහරවිට අඩවන් දෙනෙතින් ය. ඇස් පියාගත් කල නිදිමත ඇතිවන බැවිනි ආනාපාන සතිය වැඩීම පිළිබඳ ක්‍රම තුනක් සෙන් දහමේ ඉගැන්වේ.
1. එකේ සිට දහය දක්වා ආරෝහන පිළිවෙලට ද 10 සිට 1 දක්වා අවරෝහණ පිළිවෙළට ලට ද ආශ්වාස ප්‍රශ්වාස දෙක ගණනය කිරීම (සුසෝකුකාන්)

2. ගණනය නොකර ආශ්වාස ප්‍රශ්වාස දෙක මෙනෙහි කිරීම (සූසිංසාකූකාන්)

3. කිසි දෙයක් ගැන නොසිතා වාඩිවී සිටීම (සිකාන්තශා)

මෙම අවස්ථා අනුක්‍රමික සික්ශා යනුවෙන් හැඳින්වේ. ක්‍රමයෙන් සිත හැදීම මෙයින් අදහස් කෙරේ . මිනිත්තු හතළිහක් වත් උපරිම වශයෙන් භාවනා කිරීම මෙහිදී අනිවාර්යය .මෙම භාවනා පිළිවෙල අනුගමනය කරන තැනැත්තාට අවසානයේ “නොආන්”නමින් වූ මනෝමය ප්‍රහේලිකාවක් ඉදිරිපත් කෙරේ .එය විසඳීමත් සමගම ඔහුට “සනෝරිලාභය” නමින් වූ ක්ෂණික බුද්ධත්වය ලැබෙයි.

සෙන් දහම සම්ප්‍රදායික ඉගැන්වීම විවේචනයට ලක් කරයි. සම්ප්‍රදාය වල එල්බ ගැනීම දෘෂ්ටි ගතික වීමකි. සත්‍ය දැකීමට නම් දෘෂ්ටියෙන් මිදිය යුතුය. පාරම්පරික ඉගැන්වීම් හා පොත්වල ලියා ඇති දේ මිනිස් මනසට සෘජු මග පෙන්වීමක් නොකරයි. පිරිසිදු මිනිස් ස්වභාවය පුබුදුවා ගැනීමට මනස කිලිටි කරන බාහිර දේ වලින් වෙන්කර ගත යුතුය. එසේ පුබුදුවා ගත් සිතට නියම අවබෝධය හෙවත් ධර්මය අධර්මය නම් යහපත ය. සමස්ත විශ්වය තුළ සැඟවී ඇති මෙම ධර්මය ශක්තිය හා සම්බන්ධ විය හැක්කේ තමන්ට ධර්මය හි පිහිටීමෙනි .

සෙන් දහමේ දක්වන පරිදි සත්‍යාවබෝධය පිණිස සෑම සත්වයකු තුළම තිබිය යුතු ප්‍රණිධාන හතරකි

1. අසංඛ්‍ය වූ සත්වයන් කෙරෙහි සේවයට කැප වීම
2. අසංඛ්‍ය වූ ලෝක ස්වභාවයෙන් මිදීම
3. අසංඛ්‍ය වූ ධර්ම අවබෝධ කරගැනීම.
4. බුද්ධත්වය ලබා ගැනීම

මෙම ප්‍රණිධාන වල පිහිටා කටයුතු කිරීමෙන් සත්‍යය සත්‍ය අවබෝධය ලැබීම හැකිය. සෙන් දහමේ මෙය හඳුන්වනු ලබන්නේ සනොරිලාභය වශයෙනි .
සනොරිලාභය සඳහා දීර්ඝ කාලයක් පුහුණු විය යුතුය එය අතිශය දුෂ්කරය උත්සාහයෙන් ප්‍රගුණ කළ යුතුය. අති සූක්ෂම මානසික ශික්ෂණයක් එයින් ලැබේ. මේ දැක්වූයේ සෙන් බුදු දහමේ ඉතිහාසය හා ස්වභාවය පිළිබඳ සරල හැඳින්වීමකි. මෙසේ සෙන් දහම කෙටියෙන් හැඳින්වුවද , එය ඉතා ගැඹුරුය. කෙටියෙන් පැහැදිලි කිරීම අපහසුය. එබැවින් මෙම ලිපියෙන් අදහස් කලේ සෙන් දහම පිළිබඳව සරල හැඳින්වීමක් කිරීම පමණකි .

බොහෝ කරුණු නොදත් ඔබට ,කුඩා හෝ කරුණක් මතින් මේ දහම පිළිබඳව අවබෝධයක් ලබා ලබාගැනීමට අවශ්‍ය පදනම සැකසීම අපගේ මූලික අරමුණයි.කිසිවක් හෝ නොදත් ඔබ වෙනුවෙන් යම් හෝ දහම් කරුණක් ලඟාකර ගැනීමට හැකි වූවා සේ සිතමි.

දැනුමින් පෝශනය වූ හෙටක් උදෙසා බෞද්ධ සහෝදරත්වයෙන් ඔබට ගෙනා අත්වැලක්….

You might also like
en English
X
X