Temples of Sri Lanka

නවීන විද්‍යාව හමුවේ බුදු දහමේ විජයග්‍රහනය…

නවීන විද්‍යාවන්ගේ දියුණුව හා ඒ විද්‍යාවන් පදනම් කොටගෙන ගොඩනැගුණු තාක්ෂණය නිසා වර්තමාන ලෝකයේ විශාල වෙනස්කම් රාශියකට භාජනය වෙමින් පවතී.

භෞතික වශයෙන් මින් පෙර නොවූ තරම් සුවපහසු ජීවිතයක් ගත කිරීමට මිනිසාට හැකියාව ලැබී තිබුනත් වර්තමානයෙහි සිදුවෙමින් පවතින වෙනස්කම් මිනිස් ජීවිතයේ සෑම අංශයටම විශාල වශයෙන් බලපා තියෙනවා.

පෘථිවිය මතුපිට පමණක් නොවෙයි වෙනත් ග්‍රහයන් මතුපිටත් මිනිසා විසින් තනන ලද වාහන ගමන් කරවීමට හැකියාවක් තියෙනවා. සැතපුම් දහස් ගණන් වුවත් ඉතා කෙටි කාලයකින් ගමන් කළ හැකි ස්වභාවයකට පත් වී තිබෙනවා. රූපයත් ශබ්දයත් තරංග මගින් කැමති තැනක සිට කැමති තැනකට මොහොතින් ගෙන යාමට පුළුවන් ශක්තියක් ලැබිලා තියෙනවා.වර්තමාන ලෝකයේ සන්නිවේදනයේ ජයග්‍රහනය විශ්මය දනවන සුළුයි. පොත්පත් හා පුස්තකාල වෙනුවට පිටු දහස් ගණනින් යුත් ලේඛන කුඩා පරිගණක තැටි වලට අඩංගු කරන්නට හැකියාව ලැබිලා තියෙනවා .වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් නිසා මිනිසාගේ ආයුකාලය දීර්ඝ වෙලා ඇතැම් රෝග සම්පූර්ණයෙන්ම ලෝකෙන් තුරන් කරලා තියෙනවා .ශරීර අංග බද්ධ කිරීමේ සියුම් උපකරණ මෙන්ම ක්‍රමවේදයන් ද හඳුනාගෙන තියෙනවා. එදිනෙදා ජීවිතය පහසුකරන ගෘහ උපකරණ මහත් සංඛ්‍යාවක් නිෂ්පාදනය වීමෙන්, ජීවිතය සරල බවට පත්වෙලා තියෙනවා .ඉක්මනින් හා පහසුවෙන් ස්වකීය අවශ්‍යතාවයන් සහ භෞතික අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට විවේකය ලබා ගැනීමට ඉඩකඩ වැඩි වීම මෙහි ලැබී ඇති අනෙක් ප්‍රතිඵල. විවේකය විනෝදයෙන් ගත කිරීමේ නව ක්‍රම රැසක් බිහි වෙලා තියෙනවා. මෙසේ විද්‍යාවත් තාක්ෂණයත් මිනිස් ජීවිත වල, විප්ලවීය පරිවර්තනයක් උදා කිරීමට හැකියාව උදා කරගෙන තියෙනවා.

විද්‍යාව හා තාක්ෂණය නිසා මිනිසාගේ භෞතික සුවපහසුව පෙර නොවූ ආකාරයෙන් සැලසුණත්, මිනිසාගේ මනස සංවර කිරීමට නම්, ඊට පුළුවන් වී නැහැ. මිනිසාට උදාර පරමාර්ථයක් අරමුණක් ලබාදීමට එය අපොහොසත් වී තියෙනවා. මිනිස් ජීවිතයට සදාචාරය එක් කිරීමට එය සමත් වී නැහැ. මේ නිසා විද්‍යාව හා තාක්ෂණය ඔස්සේ භෞතික හා ලෞකික දියුණුව සලසා ගත්ත මිනිස් ප්‍රජාව සදාචාරාත්මක හා ආධ්‍යාත්මික අංශ නොතකා හැර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වෙලා තියෙන්නෙ මිනිසා ලබන භෞතික හා ලෞකික දියුණුව තවත් අතකින් එම දියුණුවට තර්ජනයක් වීමට පටන්ගෙන තිබීමයි.

මේ කරුණු නිදර්ශනයක් මගින් තේරුම් ගත්තොත් තාක්ෂණික උපකරණ භාවිතය එන්න එන්න වැඩි වෙමින් තිබුනත් මේ තාක්ෂණික උපකරණ මගින් පරිසරයට එකතු වන විවිධ වායු වර්ග වලින් බොහොමයක් විෂ සහිතයි. ඒවා මිනිසාගේ පැවැත්මට ඉතා හානිකරයි. මේ විෂ වායු හා විෂ ද්‍රව්‍ය භාවිතය ජලයටද පසටද එකතු වෙනවා.මේ නිසාම වාතය ආඝ්‍රාණය කිරීමට නුසුදුසු තත්ත්වයට පත්වෙනවා. ජලය පරිභෝජනයට නුසුදුසු වෙනවා. පසට එකතු වන විෂ සහිත අපද්‍රව්‍ය නිසා බෝග වර්ග ආහාරයට ගැනීම අනතුරුදායක තත්වයකට පත්ව තිබෙනවා. එය මුළු මිනිස් වර්ගයාගේම පැවැත්මට විශාල ලෙස එල්ල වූ තර්ජනයක්…

තාක්ෂණික මෙවලම් භාවිතයට ගන්නා මිනිසාගේ අරමුණු වල සිතුම් පැතුම් වල සහ චර්යාවේ වෙනසක් අවශ්‍ය බව මේ අනුව පෙනී යනවා. මිනිසාට ගුණදහම් ගැන ජීවිත පරමාර්ථ ගැන සදාචාරය ගැන ඈත අතීතයේ ඉඳන්ම මග පෙන්නුවේ ආගම දහම විසින්. නමුත් විද්‍යාත්මක චින්තනය නිසා ඒ ආගම දහම මිනිසාගෙන් දෑත් වෙමින් පවතින බවක් පෙනී යනවා. මේ නිසා මිනිසා තුළ භෞතික හා ආධ්‍යාත්මික සමතුලිතතාව ඇති කිරීමට ආගමික චින්තනයේ විප්ලවීය වෙනසක් අවශ්‍යම වෙනවා.

විද්‍යාත්මක සොයාගැනීම් නිසා ආගමික විශ්වාස බොහොමයක් බිඳවැටීමට පටන් ගන්නවා. ලෝකය දෙවියකු විසින් මවන ලද කියන මතය darwin නම් විද්‍යාඥයාගේ පරිනාමවාදී අදහස් නිසා බිඳ වැටෙනවා .පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය යන මතය තාරකා ශාස්ත්‍රය සොයා ගැනීම් නිසා බිඳ වැටෙනවා. විද්‍යාත්මක චින්තනය පැතිර යන කොට බොහෝ ආගමික විශ්වාස බිඳවැටීම නිසා ආගමික භක්තිය ද මිනිසා අතරින් ඈත් වන්නට පටන් ගන්නවා.

මේ නිසාම මිනිසාගේ සදාචාරාත්මක හා අධ්‍යාත්මික දියුණුව කෙරෙහි බලපෑමට ආගම අපොහොසත් වන තත්වයකට පැමිණ තිබෙනවා. බුද්ධ ධර්මය ලෝකයාට අත්‍යවශ්‍ය පණිවුඩයක් ඉදිරිපත් කිරීමට සමත් වන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදී….

ඊට හේතුව බොහෝ ආගම් දහම් වලට එරෙහිව පොදුවේ ඉදිරිපත් වන විවේචන බුදු දහමට එරෙහිව එල්ල නොවීම යි.

ලෝකයේ දේව නිර්මාණයක් නොවන බව පවසන බුදු දහම, පෘථිවිය හා මිනිසා ඇතුළු සත්ව වර්ගයා ක්‍රමානුකූල පරිනාමයට පත්ව සිටින බව පිළිගන්නවා.

පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය වශයෙන් නොසලකන බුදු දහම චක්‍රාවාට රාශියකින් යුක්ත අතිවිශාල විශ්වයක් ගැන කරුණු දක්වනවා.

මිනිසාගේ විමුක්තිය මිනිසාට ලබා ගත හැකි බව උගන්වමින් මිනිසුන්ගේ ක්‍රියා පාලනයට මිනිසා සමත් බව පෙන්වා දෙනවා.

පාරම්පරික විශ්වාස බැහැර ලන බුදුදහම, භක්තිය මත නොව විමසා බලා කරුණු හරිහැටි අවබෝධ කරගත් පසු පිළිගැනීමේ විද්‍යාත්මක චින්තන ක්‍රමය ඉදිරිපත් කරනවා.

මේ හේතු නිසා නිර්මාණවාදී ආගම් දහම් සැකයෙන් යුතුව ප්‍රතික්ෂේප කරන වර්තමානයේ මිනිසාගේ සදාචාරාත්මක හා අධ්‍යාත්මික ජීවිතය සකස් කිරීමට බුදුදහම ඉතා මැනවින් පොහොසත් අංගයක් බවට පත්වෙනවා .

වර්තමාන සමාජය තුළ සංකීර්ණ ප්‍රශ්න විසඳීමට බුදු බුදුදහම ඉදිරිපත් වන මූලික අදහස් පිළිබඳව අවබෝධයක් ලබා ලබාගැනීමට නිදසුනක් ගෙන බලමු.

මිනිසුන් වශයෙන් ජීවත් වීමට අවශ්‍ය මූලික කරුණු මිනිස් අයිතිවාසිකම් නමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන තියෙන ජීවත්වීමේ අයිතිය, හිංසා පීඩා නොලබා සිටීමේ අයිතිය ,පොදු හා පෞද්ගලික දේපළ භුක්ති විඳීමේ අයිතිය මූලික සමාජයක ය වශයෙන් පවුල් ජීවිතයක අයිතිය, හා අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීමේ හා දැක ගැනීමේ අයිතිය, අත්‍යවශ්‍ය මූලික මිනිස් අයිතිවාසිකම් අතරට එක් වෙනවා.

ලෝක ජනතාව 1948 වර්ෂයේ දී මේ අයිතිවාසිකම් සම්මත කරගනිමින් ගෘහස්ථ බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංච ශීලය තුළ මේ මිනිස් අයිතිවාසිකම් ස්වේච්චාවෙන් ආරක්ෂා කිරීමට බෞද්ධයා ඉගෙන ගත්තේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ සිට… මිනිසාට පමණක් නොවෙයි, සෑම සතෙකුටම ජීවත් වීමේ අයිතියක් ඇති බව බුදුදහම පිළිගන්නා සත්‍ය කරුණක්..

සමාජ ප්‍රශ්න විසඳීමේදී ප්‍රබල අදහසක් බුදුදහමේ ඉදිරිපත් වෙනවා. තමාටත් සමාජයටත් යහපතක් දියුණුවක් හා අර්ථයක් සිදුවන ක්‍රියා හොඳ ක්‍රියා ලෙසත්… තමාටත් සමාජයටත් අයහපතක් පිරිහීමක් හා අන ර්ථයක් ගෙන දෙන ක්‍රියා නරක ක්‍රියා ලෙසත් හැඳින්වීම, මින් ප්‍රධාන වෙනවා.. මෙහිදී ජාතිය ආගම කුලය වර්ණය පන්තිය ආදී කිසිදු ප්‍රභේදයක් සලකා කටයුතු කරන්නේ නෑ .

මිනිසාට කැමති විදිහට ප්‍රයෝජනයට ගැනීමට පරිසරය මවා තිබේ ය යන වැරැදි දෘෂ්ටිය නිසා ලෝකය ම මහා ව්‍යසනයකට මුහුණ දීමට දීමට සිදු වී ඇති බව පරිසර විද්‍යාඥයෝ වරින් වර පෙන්වා දෙනවා.

බුදු දහමේ ඒ පිළිබඳව ඉදිරිපත් කළ ආකල්පය අප අතර බෙහෙවින් ප්‍රචලිත සිඟාලෝවාද සූත්‍රයෙන් ඉතා සරල ලෙස මෙසේ දක්වන්න පුළුවන්.. “පරිසරයෙන් ප්‍රයෝජනය ගත යුත්තේ මී මැස්සා ගේ ඉරියව්වෙනි” එනම් හිත මිතුරු ආකල්පයෙනි” යන්නයි.

බුදු දහම තුළ උත්තම හැසිරීම ලෙස හැඳින්වෙන මෛත්‍රිය, කරුණාව මුදිතාව, හා උපේක්ෂාව, යන ගුණාංග මිනිසා තුළ වගා කර ගැනීම …මිනිසා තුළ වර්ධනය කරගැනීම… සියළුම සමාජ ප්‍රශ්න නිරාකරණයට හා නිවැරදි මගකට යොමු වීමට ඉඩකඩ විවර කරනවා ඇත.

මෙහි සුවිශේෂීත්වය නම්, මිනිසා කිසිදු ආකාරයකින් කොටස් කර නොගෙන ඒ ගුණාංග ක්‍රියාත්මක වීමයි.

තාක්ෂණික මෙවලම් මිනිස් වර්ගයාගේ උපරිම යහපත සඳහා මෙහෙයවීමට සමත් උපදෙස් දීමට ශක්තියක් ඇති විද්‍යාත්මක චින්තනය අගය කරන බුදු දහම, මුල් අසුනේ මිනිස් අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාකරන බවට මේ අනුව අපට නිසැකවම පිළිගත හැකිය .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X