Temples of Sri Lanka

සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ඔබ්බට භාවනාව..

සිත එකඟ කර ගනිමින් භාවනාව පුහුණු කිරීමේදී අප තුළ ඒ් සඳහා පවතින ආකල්පයම මිස භාවනා කිරීමේ ක්‍රමවේදය ඒතරම් වැදගත් නොවේ

භාවනාව..

භාවනා කිරීමේදී ඉතාම වැදගත් දෙය වන්නේ භාවනාව පුහුණු කිරීම සඳහා අප තුළ පවතින අභිප්‍රේරණය එසේත් නැතිනම් උනන්දුව කොතරම්ද යන්නයි. සරලව කිවහොත් භාවනා කිරීමට අප තුළ කොයිතරම් දුරට වුවමනාවක් තියෙනවාද? අැයි අපි භාවනාව පුහුණු කළ යුත්තේ? මෙන්න මේ වගේ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඇතැම් වෙලාවට අපි භාවනාව පුහුණු කිරිමේ උපක්‍රමික ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කිරීමට යාමෙන් සිදු වෙන්නේ භාවනාව පිළිබඳව අපේ සිත් තුළ තිබෙන ධනාත්මක ආකල්පය බිඳ වැටීමයි. ඒ් වගේම කිසියම්  තාක්‍ෂණික ක්‍රමවේදයක්  නිවැරදිව ප්‍රගුණ කරනවාද නැද්ද යන්න ගැන කරදර වීමටද අපට බොහෝ කාලයක් මිඩංගු කළ හැකියි. නමුත් ඇත්තටම වෙනස් මානයකින් බැලුවහොත් භාවනාව පුහුණු කිරීම සඳහා අප තුළ පවතින මූලික අදහස ඒකී භාවනාවේ ක්‍රමවේදය කුමක්ද යන්නට වඩා බෙහෙවින්ම වැදගත් වෙනවා.

තෙවන කර්මපා හිමියන්ගේ අදහස

මෙම අදහසට සහාය වන උදාහරණයක් ලෙස රංජුන් ඩෝර්ජ් (1284–1339) තුන්වන කර්මපා හිමියන්ගේ ජීවන චරිතය පෙන්වා දිය හැකියි. උන්වහන්සේ විශිෂ්ට ගණයේ භාවනා පුහුණු කරන ගුරුවරයෙකු ලෙස ප්‍රකට වූ අතර උන්වහන්සේ යටතේ භාවනාව ප්‍රගුණ කළ බොහෝ සිසුන් දක්ෂ භාවනා පුහුණු ගුරුවරුන් බවට පත් වුණා. දිනක් එක්තරා පුද්ගලයෙක් කර්මපා හිමියන් වෙත ළඟා වී මෙසේ අසනවා.

 “භාවනාව පුහුණුවකින් තොරව විමුක්තිය අත් කර ගැනීමට ඉඩ සලසන අධ්‍යාත්මික උපදෙස් ඔබ සතුව ඇති බව මම අසා තිබෙනවා. එවැනි දෙයක් තිබේ නම් කරුණාකර එය මට ලබා දෙන්න. ”

එවිට කර්මපා හිමියන් මෙසේ පිළිතුරු ලබා දුන්නා.

“ඔව්.. භාවනාවෙන් තොරව විමුක්තිය අත් කර ගත හැකි ක්‍රමයක් තිබෙනවා. නමුත් මට එය ඔබට ලබා දිය නොහැකියි. යම් හෙයකින් මම එය ලබා දුන්නොත් ඒ තුළින් ඔබට උපකාරයක් ලැබේවි යැයි මට විශ්වාසයක් නැහැ. මොකද ඔබට එය තේරුම් ගැනීමට වගේම අවබෝධ කර ගැනීමට හැකි වේදැයි මට විශ්වාස කළ නොහැකියි. අනෙක් කරුණ තමයි සැබෑ භාවනාව වෙනුවට වෙනත් වැරදි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඉඩ තිබෙනවා. ඒ් නිසා මම එය ඔබට ලබා දුන්නත් එකී ඉගැන්වීම් උපකාරී වේවි යැයි මම සිතන්නේ නැහැ.”

ඒ් අනුව බලන විට භාවනා පුහුණු උපක්‍රම එතරම් වැදගත් නොවන බව පෙනී යනවා. භාවනාවේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ මනස තුළින්ම මනස ලිහිල් කරගන්නේ කෙසේද? යන්න පිළිබඳව සෙවීමයි. මේ අනුව මනස සැහැල්්ල්ලු කිරීීීීමට  ඉගෙන ගැනීම භාවනාවට  අත්‍යවශ්‍යයම සාධකය බව කිව හැකියි.  සමථ භාවනාව හෝ මනස  සන්සුන් කරන භාවනාවකදී අප සිදු කළ යුතු මූලිකම දෙය වන්නේ අප විසින් අවධානය යොමු කරන අරමුණ ම මෙනෙහි කිරීමයි. එහිදී සිදු වන්නේ ජල කරාමයක් හරහා ජලය ගලා එන්නාක් මෙන්  මනස එක තැනකට කේන්ද්‍රගත කර මනසේ ශක්තිය ගලා ඒ්මට ඉඩ සැළසීමයි. නූතන ලෝකයේ මේ දිනවල ආකර්ෂණීය නාගරික ජීවිතවලට උරුමකම් කියන මිනිසුන්ගේ මනස නිරන්තරයෙන් ම සියලුම බාහිර දේවලින් ඈත් කර තිබෙනවා. කාර්යබහුල නගරවල වෙසෙන්නන් අතර මෙය  සුලබ දැකිය හැකියි.

 

මානසික ඒකාග්‍රතාව

නමුත් මීට ප්‍රතිවිරෝධී අදහසක් ලෙස සන්සුන් මනස සෑම විටම අපව දිරි ගන්වන්නේ අභ්‍යන්තර සමාධියට මිස බාහිර දේවල් වෙත නොවේ. ඒ් තුළීන් අපි මනස නිරවුල්ව හා සමාධිගතව තබා ගැනීමට ඉගෙන ගන්නවා. කෙටියෙන් කිවහොත් අපිට අවශ්‍යයයි මනස ඒකාග්‍රතාවයකට ගෙන එන්න. නමුත් අපි එය කරන්නේ ඉතාම සැහැල්ලුවෙන්. පොදුවේ ගත් විට මේ මනස එකඟ කර ගැනීම හා සැහැල්ලුවෙන් සිටීම භාවනාව පුහුණු කිරීම සඳහා ඉතාම වැදගත් අවශ්‍යතාවන් දෙකක් වනවා.

භාවනාව නිරන්තරයෙන්ම මනස ශක්තිමත් කරන හා කල්පනා ශක්තිය  වැඩි දියුණු කරමින් අපේ මනස තුළ  නිවැරදි සිහිය ඇති කිරීමට උපකාරී වනවා. එහිදී යම්කිසි වස්තුවක් අපේ ඇස ඉදිරිපිට තිබෙන දෙයක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම් අපිම හිතින් මවා ගත් වස්තුවක් වෙන්න පුළුවන්.  ඒ් කුමක් වුවත් අපේ අවධානය අඛණ්ඩව ඒ් කෙරෙහි තබා ගැනීම වැදගත් වනවා. මේ අයුරින් විවිධ වස්තූන් සමඟ වැඩකිරීම අපේ මනස නිරවුල් කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයන් බව කිව යුතුයි.

භාවනාව සහ හුස්ම

සන්සුන් මනසක් කෙරෙහි සිත පුහුණු කිරීමේදී හුස්ම හෙවත් ආශ්වාස – ප්‍රශ්වාසය අතිශය වැදගත් සාධකයක්. එහිදී හුස්ම සමඟ මනා සබඳතාවක් ඇති කර ගත යුතුයි. නාභීය වස්තුවක් විදියට හුස්ම යොදාගෙන භාවනාව පුහුණු කිරීමේ විශේෂ වාසියක් තිබෙනවා.  උදාහරණයක් විදියට හුස්ම කියන්නේ අපත් සමඟම පවතින දෙයක්. එය සොයමින් විවිධ තැන්වල කරදර විය යුතු නැහැ. නමුත් වඩාත්ම වැදගත් වන්නේ අපි අපේ සෘජු අවධානය ඒ් කෙරෙහිම යොමු කිරීමයි. ආශ්වාස ප්‍රශ්වාසය නැතිනම් හුස්ම භාවනාව පුහුණු කිරිමේදී සරල හා පහසු බවක් වගේම උනන්දුවක් වුවමනාවක් අපි තුළ ඇති කරනවා.

මේ ආකාරයට භාවනාව ප්‍රගුණ කිරීමේදී අපි අපේ මනස 100%ක්ම  එකඟ කර ගනිමින් ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහිම අවධානය යොමු කළ යුතු වනවා. ඒ් වගේම අපි අපේ අශ්වාස ප්‍රශ්වාස කිරීම මෙනෙහි කරමින් හුස්ම ඉහළ පහළ දැමීම ඉතා ක්‍රමානුකූලව කළ යුතුයි. ඉන් පසුව අපි අඛණ්ඩව භාවනාව පුරුදු පුහුණු කරන විට අපේ හුස්ම හෙවත් ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කරමින් සහ ඒ් කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් සිටීම වැදගත් වනවා. යම් හෙයකින් අපට එය අඛණ්ඩව සිදු කළ නොහැකි වුණහොත් ඒ් සම්බන්ධයෙන් කිසිසේත් දුක් විය යුතු නැහැ. එහිදී මඳ විරාමයක් ගෙන සැහැල්ලු වී නැවත භාවනාව ඇරඹිය හැකියි. ආශ්වාස – ප්‍රශ්වාසය මෙනෙහි කරන අතරතුරදී සැහැල්ලුවෙන් සිටීම වැදගත් බව පෙර මතක් කළා. ඇතැමුන් සිතනවා භාවනාව පුහුණු කිරීමේදී විවේකයක් ගැනීම සිතාමතාම කළ යුතු දෙයක් කියලා. නමුත් එය වැරදියි. එහෙම හිතමින් ආයාසයෙන් විවේක ගැනීම කිසිදු පදනමක් නැති දෙයක් බව කිව යුතුයි. මොකද අපි විවේක ගත යුතු වන්නේ  “ආහ් දැන් මම විවේක ගන්න ඕනේ” කියන අදහසින් නම් එහි තේරුම අපි භාවනා කරලා තිබෙන්නේ සැහැල්ලුවෙන් නොවෙයි කියන එකයි.

මනසට විවේකය

භාවනාව මෙනෙහි කිරීම සඳහා වූ “මහා මුද්‍රා”( චග්යා ෂෙන්පෝ ) සහ “මහා සන්ධි” (ද්යොග්ෂෙන් ) යන අත්පොත්වල චංචල මනස නිශ්චලව තබා ගැනීම හෝ සෘජුව සිතීමේ මනසක් තුළින් අපව දිරිමත් කරන ආකාරය ගැන උපදෙස් සටහන් වෙලා තිබෙනවා. එවැනි උපදෙස් තුළින් සැහැල්ලුවෙන් සිටින ආකාරය පිළිබඳව අපට අදහසක් ලබා දෙනවා. කෙසේ වුවත් මහා මුද්‍රා සහ මහා සන්ධි යන සම්ප්‍රදායන් අනුව යම් නිශ්චිත දෙයක් කෙරෙහි අවධානය යොමු කළ නොහැකි නම් මනසට විවේකයක් ලබා දිය යුතුයි. මේ අයුරින් අවධානය ලබා දීමට නොහැකි නම් ඒ් සෑම විටම කරදරයටත් කලබලයටත් පත් වීම අපි නොකළ යුතු දෙයක් වනවා. එවිට අපට නිවැරදි සිහියෙන් සිටීමට වගේම අවබෝධය තුළින් අවධානය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනවා.

මනස කියන්නේ බර වස්තුවක් නොවෙයි

තවත් වැරදි මතයක් තමයි එක්තරා හතරැස් සාමුවක සිරකර නැංගුරම් දැමූ දෙයක් මෙන් අපේ මනස බර වස්තුවක් ලෙස සැළකීමයි. නමුත් එය ඵලදායී ප්‍රවේශයක් නොවේ. සමහරු මට කිව්වේ ඔවුන් භාවනාව ආශ්වාස – ප්‍රශ්වාස කරමින් පුරුදු කරන විට එය නතර කර තමන් හුස්ම ගැනීමේ වේගය නිසා පත් වන අපහසුතාවය නිසා භාවනා කිරීම අත්හැර දමන බවයි.   ඔවුන් ඕනෑවට වඩා හුස්ම ගනිමින් මනස, හුස්ම පිට කිරීමේ බර වස්තුවක් ලෙස සළකන බව පෙනී යන කරුණක්. එවැනි පුහුණු කිරීම්වල කිසිදු ප්‍රතිඵලයක් නැහැ. ඊට වඩා අප එය අත්දැකිය යුත්තේ හුස්ම සමඟම එකටම ගමන් කරන වායු තරලයක් වැනි දෙයක් ලෙසයි. අප හුස්ම පිට කරන විට වාතය අපේ නාස්පුඩු හරහා පිටතට ගමන් කරනවා. එවිට අපි හිතනවා “ඔන්න දැන් හුස්ම පිට වුණා” කියලා’ ඒ් වගේම අපි අපේ මනසටත් හුස්ම සමඟම එකටම ගලා යාමට ඉඩ දිය යුතු වනවා. ඉතින් අපේ මෙනෙහි කිරීමේ ගුණය ගැන කියන විට එය නම්‍යශීලි විය යුතුයි. නොසන්සුන් නොවී නමුත් ශක්තිමත් හා දැඩි නොවිය යුතුයි.

ආයාසයෙන් හුස්ම ගැනීම හා හුස්ම ගණන් කිරීම

අපිට පුළුවන් මනස හරියට  මෘදු ලෙස ගලායන වාතය වගේ හුස්ම සමඟ සැහැල්ලුවෙන් ගලා යාමට ඉඩ සළසන්න. ඊට හාත්පසින්ම වෙනස්ව සමහරු භාවනාවේදී මනසට සළකන්නේ හරියට ඉලක්කය ගෙන තුවක්කුවකින් ඊට වෙඩි තබන ස්නයිපර් තුවක්කුකරුවකු වගෙයි. මේ අවහිරතාවය අපි භාවනාව පුහුණු කිරීමේදී සොයන දේ නොවෙයි. ඊට වඩා අපේ මනස සැහැල්ලුවෙන් ගලා යන තැනක් විය යුතුයි.

ඒ් ව‌ගේම තමයි අපි භාවනා කරන විට සාමාන්‍යයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. එහිදී විශේෂ උත්සාහයක් දරමින් ආයාසයෙන් හුස්ම ගැනීමට මනසට බල කළ යුතු වන්නේ නැහැ. හුස්ම ඉහළ පහළ දැමීම බොහොම සාමාන්‍යය ආකාරයට කළ යුතු වනවා. ඒ් වගේම බොහෝ අය භාවනා කරන්නේ හුස්ම ගණන් කිරීම, ආශ්වාස ප්‍රශ්වාස ගණන වෙන වෙනම ගණනය, සිදු කරමින්. මම හිතනවා දැනට හුස්ම ගණන් නොකර මෘදු ලෙස ආශ්වාස ප්‍රශ්වාස ය මෙනෙහි කරමින් සැහැල්ලු හා විවේකීව සිටීම ඉතාම යහපත් බවයි. මෙයට හේතුව හුස්ම ගන්නා වාර ගණන් කරමින් භාවනාව පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේදී එය තරමක් කාර්යබහුල හා සංකීර්ණ වීමට ඉඩ තිබීමයි. ඒ් නිසා දැනට සැහැල්ලුවෙන් භාවනාව පුහුණු කිරීම හා ආශ්වාස ප්‍රශ්වාස ගණන් කිරීමට නොයාම වැදගත් වනවා.

භාවනාවට කාලසටහනක්

භාවනාව පුරුදු කිරීමේ කාල සටහන සකස් කිරීමේදී පොදුවේ ලබා දිය හැකි උපදෙස වන්නේ කෙටි පුහුණු වාරවලට  වෙන් කර ගැනීම ඵලදායී වන බවයි. එය භාවනාව පුහුණු කිරීමේදී අනුගමනය කළ හැකි හොඳ පුරුද්දකි. කෙසේ වුවත් අපිට ඇත්තටම පරිපූර්ණ ලෙස භාවනාව ප්‍රගුණ කිරීමට අවශ්‍යය නම් සම්ප්‍රදායික පොතපතෙහි සඳහන් කර ඇති දේවල් ඒ් තරම් සරල කාරණා නොවෙයි. මේ ගුණාංග භාවනාවට හුදෙක් සැහැල්ලු හෝ අනියම් අයුරින් අත් කරගත නොහැකියි. නිසි ලෙස කතා කිරීම, සන්සුන්ව සිටීම, යන එහි ප්‍රතිඵල ළඟා කර ගත හැකි වන්නේ මාස ගණනාවක් තුළ සිදු කරනු ලබන හුදෙකලා නමුත් දැඩි පුහුණුවකින් පමණයි.

සමථ භාවනාව සඳහා අපි මාස ගණනාවක් කැප වීමෙන් පුහුණුවීම් කළහොත් හෝ ඒ් ගැන සොයා බැලුවහොත් අපට සාමකාමී මනසක් ඇති කර ගැනීමට අවශ්‍යය මූලික ගුණාංග ඇති කර ගත හැකියි. ඒ් හැරුණ විට දිනපතා මදක් පුහුණුවීම් කිරීම මගින් පමණක් අපට භාවනාව හුරු කළ නොහැකියි.

හුදෙකලා වීම සහ භාවනාව

ඇත්තටම භාවනාව තුළින් අපේ මනස සන්සුන් කිරීමට සහ අපේ අවධානය නිසි තැනට යොමු කිරීමට ඇති හැකියාව වැඩි දියුණු වනවා. නමුත් සම්ප්‍රදායික ග්‍රන්ථවල උගන්වන ආකාරයෙන් ශාන්ත ස්වභාවයකට එය අපව රැගෙන යන්නේ නැහැ.

ඒ් වගේම මේ දිනවල හුදෙකලාව සිටීම ඉතාම දුෂ්කර අභියෝගයක්. පොතපතෙහි සඳහන් වන්නේ අප දුරස්ථ හා හුදෙකලා ස්ථාන කරා යා යුතු බවයි. නමුත් අද වන විට ජංගම දුරකථන සබඳතා හුදෙකලා ප්‍රදේශ පවා ආක්‍රමණය කර තිබෙනවා.

තවත් වැදගත් කාරණයක් වන්නේ භාවනාව පුහුණු කිරීමේ ආරම්භයේ සිටම නිවැරදිව එය සිදු කිරීමයි. ආරම්භයේ පටන්ම අපේ ශක්තිය ඒ් කෙරෙහි නිවැරදිව යෙදවීමට හැකි නම් භාවනාව තුළින් සන්සුන් මනසක් ඇති කිරීමට අපට හොඳ අවස්ථාවක් ලැබෙනවා.

වැරදි පුරුදු භාවනාව.

නමුත් අප එය වැරදි පුරුදුවලින් ආරම්භ කළොත් අපේ පුහුණුවීම්වලට බාධා කරන ප්‍රවණතා ඇති විය හැකි අතර පසුකාලීනව අපට එම පුරුදුවලින් ඉවත් වීම දුෂ්කර වීමට පිළිවන්. භාවනාව සම්බන්ධයෙන් වන අභියෝගාත්මකම දෙය නම් එය තරමක් “ කම්මැලි “ දෙයක් වීමයි. එය අපි සාමාන්‍යයෙන් විනෝදාස්වාදය ලැබීමට කැමැති ආකාරයේ සිත්ගන්නාසුළු දෙයක් නොවේ. ඇත්තටම අපේ මනස හරියට අත දරුවෙක් වගෙයි. නිතරම එයට අවධානය අවශ්‍යයයි. ඒ් වගේම නිතරම උත්තේජනයක් අවශ්‍යයයි. පුංචි දරුවෙක්ට කෙටි වේලාවක් එකම දෙයකට අවධානය යොදවන්න පුළුවන් වුණත් ටික වෙලාවකින් ඒ් දරුවා වෙනත් අරමුණක් වෙත දිව යනවා. අපේ මනසත් ඒ් වගෙයි.

කෙසේ වෙතත් මේ නව ප්‍රවණතාවන් ගැන අපි දැනුවත් විය යුතු වනවා. ඉවසිලිවන්ත වීම හා භාවනාව පුහුණු කිරීම සඳහා පැහැදිලි අභිප්‍රායයක් , අරමුණක් ඇති කර ගැනීමෙන් නොසැළකිල්ල හා කම්මැලි බව ඉවත් කර ගැනීම සඳහා නොපසුබස්නා උත්සාහයක් දැරිය යුතුයි. අපේ භාවනාවේ ප්‍රගතියට එය බෙහෙවින් ඉවහල් වනවා. අවසාන වශයෙන් කිව යුතු වන්නේ වෙනත් දෙයකින් ලබන ප්‍රීති ප්‍රමෝදයට එහා ගිය උද්යෝගයක් හා මනා පුහුණුවක් අලස යැයි සම්මත භාවනාව තුළින් අපට ලැබිය හැකි බවයි.

 

ටිබෙටයේ 17වන ගැල්වැන්ග් කර්මපා ඔග්යෙන් ට්‍රින්ලේ දොර්ජේ හිමියන්ගේ “භාවනාව තුළින් නිදහස ග්‍රන්ථය ඇසුරින් ඩේවිඩ් කර්මා,ටයිලර් දේවාර්, සහ මිෂෙල් මාටින් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර   2018 වසරේ KTD ප්‍රකාශන ඇසුරින් බෞද්ධ සහෝදරත්ව පදනම විසින් සිිංහලට පරිවර්තනය කරන ලද්දකි.

© Buddhist Brotherhood

You might also like
en English
X
X