Temples of Sri Lanka

මනෝ ස්වභාවය හා කලාව අතර සබැඳියාව

කලාව මනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රවාහයන් සමාජය වෙත ගෙනයන මාධ්‍යයක් විදිහටයි පිළිගැනෙන්නේ.කලාව බිහිවන්නේ අවශ්‍යතාවය මත. එය මුදලත් සමඟ මිය යයි කියා සදහනක් සදහනක් කලකට පෙර කියවූ පොතකට මා හට දක්නට ලැබුණත්, කාසිපනම් වලින් කලාවට වටිනාකම් ලැබෙනකොට, කලාවේ ප්‍රශස්ත බව හා ගුණාත්මක බව අභියෝගයට ලක් වෙන බව නම් ඇත්තක්.

ඒ ඇත්තටම කලා නිර්මාණයේ ස්වභාවය තීරණය කරන්නේ මුදල නෙවෙයි. හිතයි. ක්‍රියාව බවට පෙරලෙන්නේ වචන බවට හැරවෙන්නේ මේ සිතම තමයි.

එහෙම නම් කලාව බවට පත්වන්නේත් සිතමයි. සිතේ ස්වභාවය කලාව හා සුසංයෝජනය වෙන ආකාරය අපරදිග කලාකරුවන්ට වඩා පෙරදිග කලාකරුවන් හඳුනාගෙන තිබුණා.

ඉන්ද්‍රිය ගෝචර දැනුම තුළ ප්‍රඥා ගෝචර දැනුම සොයාගෙන යන්නට ඔවුන්ට සහජයෙන්ම තිබුණු පෙළඹවීම එයට හේතු වෙන්නට ඇති. ඒ හැරත් පෙරදිග ශිෂ්ටාචාරය තුළ ජීවිතාවබෝධය උපදවා ගැනීමට විශිෂ්ට පර්යේෂණ ඉලක්කයක් තිබුණා. එවන් පසුබිමක සිතුවිලි වෙනස් කිරීම තුළ කලාව උසස් කරවීමට කලාකරුවන් යොමුවීම අරුමයක් නොවේ .

කලාව තුළයි කලාව ප්‍රතිනිර්මාණය වන්නේ. ඒ සිතේ ස්වභාවයයි. රළු කළු ගල් පවා මුදු මොළොක් කොට බුදු ගුණයෙන් ඔපමට්ටම් කළ ,කරගැට පිරුණු මැදි සුමට උණ දෑත් ඇති ගල් වඩුවාගේ සිත කළු ගලක් වගේ රළු වූ එකක් නොවේ. ඒ කළු ගල පවා සියුමැලි කළ ළතෙත් ගුණයෙන් පිරී ගත් හිතක්. ඒ හිතේ වූ තෙතමනය , සංයමය, හිතේ වූ පිවිතුරු බව, මහා කරුණා දහරක් වෙලා සම්බුදු පිළිරුවක නේත්‍ර යුග්මයෙන් ගලා එන අපූරුව අපේ හිත් දැහැන්ගත කරවනවා.

දැහැන තුළ ඊර්ෂ්‍යා මද මාන ක්‍රෝධ කිලිටි කිසිවක් නැහැ. නිර්මල පිවිතුරු බවක් මයි එහි තිබෙන්නේ. කලාව ළතෙත් වන්නේ ලතෙත් සිතක් නිසා .කලාව කලබලකාරී වන්නේ කලබලකාරී සිතක් නිසා. කලාව කලහාකාරී වන්නේ කලහාකාරී සිතක් නිසා. කලාව කලාවෙන් බැහැර වන්නේ කලාව සියුම් ව ග්‍රහණය නොකරන සියුම් වූ සිතක් නිසා.

මහගම සේකර කවි නම් වූ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය තුළ මේ සත්‍ය විනිවිද දුටුවා…

කැටපතක් වැන්න නිර්මල මනස
ග්‍රහණය නොකරයි එය කිසිවක්
ප්‍රතික්ෂේප නොකරයි කිසිවක්
ලබා ගන්නා නමුදු
තබා ගන්නේ නැතිය

ගිය ගිය තැන නවතින සිතට සපුරා වෙනස් වූ නිර්මල සිත කෙලෙස් කහටින් බැඳුනු කිලිටි මොළ සෝදා හරිමින් ගමන් කරන්නේ දුටුවොත් දුටුවා පමණක්වන, ඇසුවොත් ඇසුවා පමණක් වන, ආඝ්‍රහණය කල හොත් ආඝ්‍රහණය කලා පමණක් වන, රස වින්දොත් රසවින්දා පමණක් වන, පහස ලැබුවොත් පහස ලැබුවා පමණක් වන, සිතුවා නම් සිතුවා ම පමණක් වන, එතනින් එහා යළි යළි සකස් වෙවී යන ඇලීම් ගැලීම් මුලාවී කිසිවක් නැති නිකලෙස් බවටයි.

අනතුරුව සේකරයන් මෙසේ කියනවා…

සිතුවමක් සංගීතයක්
මවන විට හෝ රස විඳින විට
රැඳෙයි සිත එකම අරමුණක…..

එය සත්‍යයක් .අප ඇලුම් කරන ගීතයක් ඇසෙන විට, අන් සියලු සිතිවිලි වලින් මිදිලා අපි ඒ හඬට ඇහුම්කන් දෙනවා. සිත පුරාවටම ඒ ගීය නින්නාද වෙනවා. වාන් දමනවා වගේ ගලාගෙන ගලාගෙන එන සිතුවිලි ප්‍රවාහය එක සැනකින් ඒ ගෙය පද තුළ කිමිදී අතුරුදහන් වෙනවා. එහෙත් ඒ තුළ තිබෙන්නේ ඇලීමක් .සේකරයන් මේ මනෝ ස්වභාවය හා කලාව අතර සබැඳියාව තවදුරටත් විවරණය කරනවා.

කලාව රාගය හා සම්මිශ්‍ර ය,
එසේ වුවද
කලාව යම් පමණින් උසස් වේ ද
ඒ පමණින් ඉන් දුරුවී යයි රාගය….

අතීතයේ පැවතියා වූ, වර්තමානයේ පවතින්නාවූ, අනාගතයේ බිහිවන්නා වූ, සියලු කලා නිර්මාණයන්ගේ උසස් බව, ප්‍රබුද්ධ බව, සියුම් බව, නිර්ණය කරන්නා වූ සාධකය තමයි ඒ ….

කලාව යම් පමණින් උසස් වේ ද ඒ පමණින් ඉන් දුරුවී යයි රාගය …

එසේනම් උසස්තම ප්‍රබුද්ධ ම කලා කෘතිය නිර්මාණය වන්නේ විරාගය තුළමයි. සේකරයන් මේ බව මෙසේ පෙන්වා දෙනවා.

උසස් කලා රසය
පහුරක් කොට ගත නොහැකි ද
නොහැකිද
පසක් කරන ට පරම සත්‍යය….

මේ හෙළ කවිය ඇසුරු සනින් පැමිණ තිබෙන්නේ ලෝකය බිහිවූ උත්කෘෂ්ට තම කලා සම්ප්‍රදාය වෙතටයි

භාවනාව විදිනා ශක්තිය රසිකත්වය මුහුකුරා ගිය රසිකයා හට නොරිසි වෙයි. නොසියුම් කලා කෘති උසස්තම නිර්මාණයෙන් මිස එවිට රසයක් ඔහුට නො ලැබෙයි. ඒ ශක්තිය උපරිම තලයට පත් විට කලා නිර්මාණයත් කලා රස විඳීමත් දෙකම ඔහු අත් හරි. කලාව බොළඳ දෙයකි .
එවිට ඔහුට හැඟෙයි.
කලාව බොළඳ දෙයකි. එනිසා එය බැහැර කරයි. ඉන්පසුව ඔහු සෞන්දර්ය ප්‍රවාහයකි. මහා මෛත්‍රී කරුණා නිධානයකි. කලාවේ අග්‍රඵලය එය ඉතා දුර ගමනක් ය.

එය මේ කවියා දුටුවේ…. ඉතා දුර ගමනක් ගමන් කොට, කලාවේ අග්‍රඵලය නෙලාගෙන මහා මෛත්‍රිය.. කරුණාව ..ප්‍රවාහය ට පත් උත්තරීතර කලාකරුවා ගැන, ඔහු ඊළඟට අපට මතක් කර දෙනවා.

බුදු සමිඳුනි ඔබ කලාව දුර හැරියේ එසේ සියුම් මනසක් ලද මහා කවියකු වූ හෙයින් ද….

කවියා අසන පැනයට කවියා පිළිතුරු දෙන්නේ නැහැ. කවියා නුදුන් ඒ පිළිතුර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරි සදහම් වූ සසර දුක් ගිනි නිවා සදාතනික කාමාසව නසා ලු අමෘත පදය තුළ ගැබ්වී තිබෙනවා…

රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මුලා වීමෙන් තොර, සදාතන සනාතන සත්‍ය, තුන් ලොවටම යහපත, ශාන්තිය, උදාකරන…

සත්‍ය දෙවියන් බඹුන් මිනිසුන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත,ලෝකය ඉදිරියේ මම වනාහි, අනුත්තර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙමි.යි සිංහ නාද කොට ගෙන හැර දැක්වූයේ සුගතයන් වහන්සේ තරම් ප්‍රබුද්ධ වූ ප්‍රතිභාපූර්ණ වූ පරමෝත්තම වූ කලාකරුවකු ලොව බිහි වූයේ නෑ …

ඒ කලාව යම් පමණ උසස් වේ ද ,ඒ පමණින් දුරුවී යයි රාගය… ඒ විරාගී වූ විරාගයට මඟ කියන්නා වූ විශාරද ගුණ මුහුදාණන් තරම් ශ්‍රේෂ්ඨ වූ කලාකරුවකු හෝ ඒ විරාගී වූ විරාගයට මඟ කියන්නා වූ සද්ධර්ම නිධානය තරම් ශ්‍රේෂ්ඨ කලා කෘතියක් හෝ තුන් ලොව කොතැනකවත් මුණගැසෙන්නේ නම් නැහැ .

සම්මා සම්බුදුවරුන්ගේ පහළ වීම , ලොවට සැපයක් මය.ඒ වනාහි ලෝසත විමුක්තියට පත් කරන , ශ්‍රේෂ්ඨතම කලාවේ පහළ වීමමයි.

කලාකාමී හදවත් සුපහන් වූ සිතෙන් සැනහෙන්නට බෞද්ධ සහෝදරත්වයෙන් ආරාධනා …

You might also like
en English
X
X