Temples of Sri Lanka

ගිලිහුනොත්….පිරූ පින් කුමට?

දෙමාපිය දූ දරු සබඳතාව …..

පුද්ගලයෙකුගේ හා පවුලක ප්‍රගතිය කෙරෙහි පමණක් නොව සමස්ත සමාජයේ ම යහ පැවැත්ම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් මව්පිය සහ දූදරු සම්බන්ධතාව.

එනිසාම ඒ සම්බන්ධතාවය මනා ලෙස පවත්වා ගැනීම සඳහා මවුපියන් සහ දූ දරුවන් විසින් අන්‍යෝන්‍ය වශයෙන් කළ යුතු බොහෝ දේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙනවා .ඒ පිළිබඳ උන් වහන්සේ වදාළ කරුණු ඇතුළත් සූත්‍ර ධර්ම අතුරෙන් සිඟාලෝවාද සූත්‍රය හා සබ්‍රහ්ම සූත්‍රය ප්‍රධාන සූත්‍ර දෙකක්. ගිහි විනය යන අතිරේක නාමයෙන් ද හැඳින්වෙන්නේ සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් දරුවන්ගෙන් මවුපියන්ට හා මවුපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු කරුණු කවරේදැයි මැනවින් පහදා විග්‍රහ කොට තිබෙනවා

මේ කරුණු දිහා විමසිල්ලෙන් බලන කොට පෙනී යන්නේ දෙපක්ෂය අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නැගෙන විදිහට පරිසරය සකස් කළ යුත්තේ මවුපියන් විසින් බවයි. ඊට අනුකූලව ක්‍රියා කිරීම දරුවන් සතු කාර්යයක් .මවුපියන් ලෙස දරුවන් ව දුසිරිත්වලින් වලකා යහපතෙහි යොදවන්නට අධ්‍යාපනයක් ලබාදීමට වෙහෙසෙන්නේ අප කෙරෙහි ඇති සෙනෙහස නිසයි. එම සෙනෙහස පාසල් වියේ සිටින අප කෙරෙහි පමණක් නොවෙයි වැඩිමහල් දරුවන් කෙරෙහි පවත්නා බව පැහැදිලි වන්නේ ඔවුන්ගේ ආවාහ විවාහ කටයුතු කලට වේලාවට සුදුසු පරිදි කර දීමටත් දෙමාපියන් විසින් දක්වන උනන්දුව හා කැපවීම නිසාම යි.

තමා සතු දේ තිබෙන ප්‍රමාණයෙන් සාධාරණ ලෙස දරුවන්ට බෙදා දෙන දෙමව්පියන් අද සමාජය තුළ දක්නට ලැබීමෙන් තවත් පැහැදිලි වෙනවා. මේ දරු සෙනෙහස පිළිබඳව තියෙන අදහස.

දයාවෙන් කරුණාවෙන් යුතුව අප කෙරෙහි සිය යුතුකම් ඉටුකරන දෙමව්පියන් සමඟ සුහද සම්බන්ධතාවක් ගොඩනගා ගත හැක්කේ අපද දෙමව්පියන්ට යුතුකම් ඉටු කරන අය වුවොත් පමණයි .

වැඩිහිටි දරුවන් දෙමව්පියන්ට සේ යුතුකම් ඉටු කරන ආකාරයෙන්ම සියලු දෑ අපට කළ නොහැකි වෙයි මවුපියන් ගේ ඇතැම් කටයුතු වලට සහාය වීම පවුලේ හොඳ සිරිත් නොකඩ කොට ආරක්ෂා කිරීම දෙමව්පියන්ගෙන් අපට ලැබෙන ඉතා සුළු දෙයක් වුවත් හොඳින් ආරක්ෂා කර ගැනීම ආදී අපට කළ හැකි උතුම් ක්‍රියාය. එසේ කරන ආකාරය දුටු විට, අනාගතයේ දී ද අපේ යුතුකම් නියමාකාරයෙන් ඉටු වේ යයි මවුපියන් අප කෙරෙහි තබන විශ්වාසය මනරම්. මව්පියන් සහ අප අතර හොඳ සුහදතාවයක් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් සෙනෙහසක් ගොඩනැගෙන්නේ එසේ වූ විටයි.

සබ්‍රහ්ම සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට දරුවන් මවුපියන්ට නමස්කාර කළ යුතුයි. ආහාර පාන වස්ත්‍ර ආදිය සපයා දීමෙන් සත්කාර කළ යුතුයි. නැහැවීම පා සේදීම ආදී උපස්ථාන කළ යුතුයි. එසේ කරන දරුවෝ මේ ජීවිතයේදී ප්‍රශංසාවට භාජනය වනවා වගේම පරලොවත් සැපවත් ජීවිත ලබනවා.

එහෙත් අපේ දෙමවුපියන්ට සත්කාර කළ යුත්තේ වැඳුම් පිදුම් කළ යුත්තේ ප්‍රශංසා ලබන අදහසින් හෝ පරලොව සැප ලැබීම සඳහා නම් නොවේ. මවුපියන්ගෙ උදාරත්වය සලකා අප විසින් කළ යුතු දෑ බොහෝයි. කවා පොවා හදා වඩා මෙලොව ජීවත්වීමට ශක්තිය ලබාදුන් දෙමව්පියන්ට වැඳීමට තරම් වත් අපේ හිත සහ හිස නො නැමෙන්නේ නම් අපි මොනතරම් අකෘතඥ පුද්ගලයෝ වෙමුද.

මව් පියන්ගේ උදාරත්වය කෙතරම් ද යත් එම උතුමන් හැඳින්වීමට බ්‍රහ්ම පූර්වාචාර්ය පූර්ව දේව ආහුණෙය්‍ය යන වචන බුදුරජාණන් වහන්සේ ව්‍යවහාර කළා .

මවුපියන් බ්‍රහ්ම නාමයෙන් හැඳින්වෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන්නෙන් දරුවන්ට සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කරන නිසා .

දරුවන්ට සිරිත් විරිත් ආදිය පළමුවෙන්ම උගන්වන්නේ දෙමව්පියන්. ඒ නිසා ඔවුන් පූර්වාචාර්ය නාමයෙන් හඳුන්වනවා .

දරුවන් ආරක්ෂා කරන දේවතාවන් දෙමව්පියන්. පූර්ව දේවතා නමින් හැඳින්වෙන්නේ ඒ නිසයි.

දරුවන්ගේ පුද සැලකිලි ලැබීමට සුදුසුකම් මවුපියන්ට තියෙන නිසා ආහුණෙය්‍ය නාමයෙන් හැඳින්වෙනවා.

දරුවන්ගේ පුද සැලකිලි ලබන මවුපියන් වෙසෙන පවුල් බ්‍රහ්මයන් සහිත පූර්වාචාර්යවරුන් සහිත පූර්ව දේවතාවන් සහිත ආහුණෙය්‍ය ගුණයෙන් යුතු උතුමන් සහිත පවුල් වශයෙන් හඳුන්වන්නට පුලුවන්. ඒ බව සබ්‍රහ්ම සූත්‍රය සඳහන් වෙලා තියෙනවා.

දියුණුවෙන් දියුණුවටම පත් විය හැක්කේ එබදු පවුල් වලටයි. තමන්ට දරුවන්ගෙන් සැලකිලි ලැබෙන විට හා තම සිත් නොරිදෙන සේ සතුටු වන සේ දරුවන් ක්‍රියා කරන විට මව් පියන්ගේ ආශිර්වාදය දරුවන්ට ලැබෙනවා .

නිරන්තරයෙන්ම එසේ ක්‍රියාකිරීම දරුවන්ගේ යුතුකමක්. ආවාහ විවාහ කටයුතු වලින් පසු දරුවන් බොහෝ විට දෙමව්පියන්ගෙන් වෙන් වන නිසා ඇතැම් දෙමව්පියෝ අසරණ තත්වයකට පත්වෙනවා .එබඳු තත්ත්වයක් ඇති නොවන සේ සිය යුතුකම් ඉටුකරමින් මවුපියන් රැකබලාගැනීම දරුවන් විසින් කළ යුතු උතුම් ක්‍රියාවක්. දරුවන්ට සිය යුතුකම් මව්පියන් කෙරෙහි ඉටුකිරීමට නිරායාසයෙන් ම පෙළඹෙන වාතාවරණයක් ගොඩ නැගෙන පරිදි ක්‍රියා කිරීම මවුපියන් සතුයි.

මව්පිය දූ දරු දෙපක්ෂයෙන් ම සිය අන්‍යෝන්‍ය යුතුකම් ඉටු වන විට අන්‍යෝන්‍ය සෙනෙහසින් යුතු මනා සම්බන්ධතාවයක් නිරන්තරයෙන්ම ගොඩනැගෙනවා. එම පවුලෙහි මව්පිය දූ දරු ගැටලු පැන නැගීමට ඉඩ ඉඩක් ප්‍රස්තාවක් නැහැ .ගැටලු ඇති වුවත් නිරාකරණය කරගැනීම ඉතා අපහසුයි. එබඳු පවුල් වලින් සැනසෙන සමාජය තුළද ගොඩනැගෙන්නේ සුහද සුන්දර වාතාවරණයක්. වටපිටාවක්.

එවැනි සමාජ වාතාවරණයක් ඇති කර ගැනීමේ වගකීමෙන් කොටසක් අප වෙත පැවරී තියෙනවා. ඒ සඳහා අප කළ යුත්තේ අප සහ දෙමවුපියන් අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගෙන විදිහට බුද්ධ වචනයට අනුකූලව අපේ යුතුකම් මැනවින් ඉටු කිරීමට කුඩා කළ සිටම ඇප කැපවී ක්‍රියා කිරීමයි.

දෙමව්පියන්ගෙන් අඩුපාඩුකම් සිදු වුවත් දරුවන් වශයෙන් අප යුතුකම් කොටස මනා ලෙස ඉටු කිරීම අපේ යුතුකම සහ වගකීම බවට පත්වෙනවා .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X