Temples of Sri Lanka

සුපින්බර මනුෂ්‍යත්වයට අරුතක්…

මනුෂ්‍යත්වය කියන්නේ ඉතා විශ්මිත වූත්, දුර්ලභ වූත්, ලැබීමක්. භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට එය කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභයි.එතරම් දුර්ලභව ලද ජීවිතය වුවද තණ පතක රැඳි පිනි බිඳුවක් සේ ම වියැකී යන බවද අපි දන්නවා.

කෑම බීම නින්ද පමණක් මුල් කොටගත් මිනිස් ජීවිතයක් උත්තරීතර වන්නේ හා ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. මිනිස් ජීවිතයක් ශ්‍රේෂ්ඨ බවට පත් කරන්නේ තුන්ලොව ජයගත් අසමසම මල් මුනිවරයකු වදාළ ශ්‍රී සද්ධර්මය තුළින්මයි.

මෑත කාලයේ මිහිරි ශ්‍රී සද්ධර්මය යළිත් වරක් ලොවට විවර වන්නට පටන් ගෙන තියෙන බව නොරහසක්. දුර්ලභව ලබන මිනිස් ජීවිත පිනෙන් පිරෙන්නට පටන් ගන්නේ පිනේ අරුත දැන ගත් සැබෑ ශ්‍රාවකයන් වීමත් සමඟයි .2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා අපරිමිත ලෙස පින්කම් සමඟ රොද බැඳ ගත් ජනතාව බොහෝයි .

භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ගිලානෝපස්ථානය බුද්ධෝපස්ථාන යක් හා සමාන සේ පින් වැඩෙන කුසලයක්. කුසලයේ අගය දන්නා නුවණැතියන් මේ පින්කම් වල නිතර යෙදෙත්.

රෝග පීඩා හේතුවෙන් කායිකව මෙන්ම මානසිකව ද පීඩාවට පත්වන මිනිසුන් බොහෝයි. ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නා විඳීම එම ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන බව සිහි කර ගැනීමට අපොහොසත් වන මිනිසුන් මේ රෝග පීඩා හමුවේ බියට හා තැති ගැනීමට පත් වෙනවා.

උපන් සත්වයා ලෙඩවීම උරුම කොටගෙන ඇති බව ඔවුන්ට වටහා ගැනීමට නොහැකි තිසරණයේ මුල්බැස නොගත් මිනිසුන්ට මෙවන් විටෙක නිතැතින්ම සිහිපත් වන්නේ තොවිල් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය පමණක්ම යි.මෙවන් විටෙක රෝගියා මියැදෙන්නේ ද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහිත වූ මිථ්‍යා දෘෂ්ටීන් සමගම වීම තවත් සංවේගාත්මක කරුණක්.

ශ්‍රද්ධාවත් ශ්‍රාවක දරුවන් වශයෙන් අපට රෝගී උපස්ථානයේ යෙදෙමින්ම උපන් සත්වයා ලෙඩවීම පොදු ධර්මතාවයක් බව ද පහදා දෙමින් සිත ද සුවපත් කිරීමට අවකාශ ලැබී තියෙනවා. උතුම් සංඝ රත්නයට අටසිල් දසසිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට මෙන්ම ප්‍රතිකාර වලට යොමු වීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති අසරණ මනුෂ්‍යයන්ට පිහිට වීම තුළින්ද පින් රැස්කර ගැනීමට මෙමගින් අවස්ථාව උදාවෙනවා.

බෞද්ධයන් යනු මිනිස් ගුණ දහමින් පිරුණු මිනිසුන් බව ලොවට හඬ ගා කීමට ද මෙය එක්තරා මාර්ගයක්. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවූවත් බෞද්ධයාගේ අදින සමාජ සත්කාරය ලොව දකීවා යන්න ඉතා අහිංසක ප්‍රාර්ථනයක්. මෛත්‍රී සහගත සිතින් මෛත්‍රීසහගත කයින් හා මෛත්‍රිය සහගත වචනයෙන් මිනිස් සිත සුවපත් කළ හැකි බව දන්නෝ බුදු සමිඳුන්ගේ ශ්‍රාවක දරුවන් පමණයි.
කාරුණික වදනකින් ගිලන් සිතක් සුවපත් වන බව ඔබද රෝහල්ගත වී ඇත්නම් දන්නවා ඇති. දෑත් දෙපා සහිතව පැමිණ මිනිසුන් ඇතැම් විට රෝහල් වලින් පිටව යන්නේ දෑත් දෙපා රහිතවයි එවන් විටෙක ඔවුන්ගේ හැඟීම් සමග ගැටීම ආර්ය ශ්‍රාවකයෙකු කිසිවිටෙකු කිසි විටෙකත් නොකළ යුතුයි. ඔවුන් කරන කියන දේ පටිඝ නිමිත්තක් කර ගැනීම නුසුදුසුයි

මේ අකාලික ධර්මය තුළ සාධාරණ අසාධාරණ කියා දෙයක් නැහැ. සලකා බලා නුවනින් විමසිය යුත්තේ කුසල් ද අකුසල් ද යන්න පිළිබඳ ව ම පමණයි. ජීවිතය යනු දුකක්මයි. අවබෝධ නොකළ ජීවිතය වැළපී මක්මයි. සියලු අගපසඟ සහිතව උපදින මිනිසුන් භාග්‍යවන්තයෝ. ඔවුන්ට ධර්මාවබෝධ කිරීමට අවශ්‍ය පහසුකම් ඇත. ඔවුන්ට ධර්මය ඇසිය හැක. සාකච්ඡා කළ හැක . පොත්පත් පරිහරණය කළ හැක . අප්‍රමාදී ව විමසන නුවණ තුළින් අවබෝධය කරා යා හැක. නමුත් ඇස් කන් නොමැති අත්පා නොමැති කොතරම් මනුෂ්‍යයෝ ලොව ජීවත් වන වාද?

ඒක කර්මය… අපිට කරන්න දෙයක් නෑ කියා ඉවත බලා ගන්නේ නම්, එය ආත්මාර්ථකාමී සිතුවිල්ලක්. අපගේ සිරුරේ දිව යන ලේ බින්දුව ද අප ලෝකය දකින දෑස ඇතුළු තවත් අවයව ද තවත් මිනිසකු වෙනුවෙන් පරිත්‍යාග කරන්නට අපට හැකියි. අපේ ඒ පරිත්‍යාගය ලබන්නේ ඇතැම්විට ධර්මයේ හැසිරෙමින් ධර්මය අවබෝධ කරන්නට වෙහෙස වෙන කෙනෙක් විය හැකියි. එසේ වූ විට අප ප්‍රදානය කොට ඇත්තේ දෑස හෝ වෙනත් අවයවයක් පමණක්ම නොවේ අප එලෙස ලබා දෙන්නේ මැරෙන ඉපදෙන ලෝකෙ නිදහස්වන්නට අවස්ථාවක් හා සතර අපායෙන් මිදෙන්න අවස්ථාවක් ,සුගතිගාමී වන්නට අවස්ථාවක්. කෙතරම් මහා පුණ්‍ය කර්මයක් ද …ඒ අනර්ඝ පුණ්‍ය ක්‍රියාව සිදු කරනා පුණ්‍යවන්ත ආර්ය ශ්‍රාවකයා බිහිවන්නේ ද අප අතරිනි.

බෝසතාණන් වහන්සේත් උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ සසරේ සැරිසරන සත්ත්වයා විඳින මහත් වූ දුක දැක හටගත් අනුකම්පාවෙන් මයි.අප මේ උතුම් ධර්මය ලැබුවේ මේ සත්ත්වයන් සසර දුකින් එතෙර කරමි යන ඒකායන අධිෂ්ඨානය ඇතිව. ඒ සුන්දර වූ පවිත්‍ර වූ හදවතේ තිබුන නිසාවෙන් ගිලන් වූ අයට, උන්වහන්සේ උපස්ථාන කළ සේක.

සංසාරගත සියලු රෝග පීඩාදියෙන් නිදහස් වීමට උපකාර වන ඒකායන මාර්ගය ද පෙන්වා වදාළ සේක. තුන් ලොවටම උතුම් වූ මහා මුණිවරයාණන් වහන්සේව ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද ආදරයෙන් සරණ ගිය ඔබ වෛද්‍යවරයෙක් හෙදියක් හෝ කුමන හෝ ආකාරයකට රෝගීන් සමග ගැවසෙන අයකු නම් ඔබට කළ හැකි මෙහෙය බොහෝයි .ඔබ වෙත පිහිට පතා ගෙන එන්නාට යළි ජීවිතය ලබා දිය හැකි යි.මේ ජීවිතයේ නිස්සාර භාවය කියා දෙමින් අමා දම් ඔසු ද සපයමින් කරුණාවෙන් මෛත්‍රියෙන් ම උපකාර කළ හැකියි.ඔබ ඒ උපකාර කරන්නේ ද උපස්ථාන කරන්නේ ද අපගේ ශාස්තෘන් වහන්සේට ම ය.

ප්‍රමාද වූ සත්වයන් ගේ මිතුරා වන මාරයාගෙන් නිදහස් වන්නට අප්‍රමාදිව කුසලයේ දෙන්නට පින් ඇති ඔබ සැමට ආරාධනා….

බෞද්ධ සහෝදරත්වයෙන්..

You might also like
en English
X
X