Temples of Sri Lanka

එන්න…. අපි මේ පාරෙන් යමු…

පුංචි ළමයි දැක්කම හරිම හුරතල්. අල්ලගෙන වඩා ගන්නට තරම් හිතනවා. කරන දඟ වැඩ බලන් ඉන්න හිතෙනවා .කෙළි පැටික්කිය කොලු පැටව් කියලා නෑ දෙගොල්ලන්ටම එක වගේ විසේ .හරියට වචන කියාගන්න බැරිවුනාට මහා මිනිස්සු වගේ සිංදුත් කියනවා. ලොකු අයගේ ඇඳුම් අදිනවා .පුංචි පැටව් උනාට ඕනේ ලොකු වැඩ කරන්නයි .අපට ඒ ගැන තරහ හිතෙන්නේ නැහැ .කරුණාව මෛත්‍රිය පිරුණු සෙනෙහසක් තමයි අපට හිතෙන්නේ.

ඒ පොඩි එවුන් බලනකොට හිතෙන්නෙ නැහැ අද තරුණ වෙලා ඉන්නෙත් මේ විදිහ කිරි වයස හිටපු අපිම නේද කියලා. මේ විදිහට ළමා කාලයක් ගෙවපු අයම නේද දැන් මේ වයසට ගිහින් ඉන්නෙ කියලා. ඒ පුංචි උන් දැක්කහම අපට හිතෙනවා අනේ මේ පුංචි දරුවෝ පුංචි කාලෙදිම හරි පාරට වැටෙනවා නම් කොච්චර අගේද කියල. මේ දරුවන්ගේ දෙමව්පියන් දරුවන්ට හරිම පාර පෙන්නලා දෙනවා නම් මොන තරම් හොඳද කියල. අපි හරියටම දන්නේ නැහැ ඒ දරුවන්ගේ දෙමව්පියෝ මේ හරිම පාර ගැන හරියටම දන්නවාද කියලත්…..

අද මහළු වෙලා හිටියත් මැදිවයසෙ හිටියත් ඒ අයටත් හොද ලස්සන තරුණ කාලයක් තිබුණා. කයින් වයස මුහුකුරා යමින් හිටියත් ඒ බොහෝ දෙනා තාමත් හිතෙන් තරුණ බව අල්ලගෙන ඉන්නේ. එය දැන ගත්තත් යොවුන් වයසේ ඉන්න අය ගැන ගත්තත් ඒ හැමෝගෙම හිත් වල තාමත් ඒ තරුණ බවට තියෙන කැමැත්ත වෙනසක් නැතිව තියෙන බව නම් පේන්නට තියෙනවා .මෙන්න මේ තරුණ හැඟීම් එක්ක ඉන්න අපි ජීවිතේ එක එක කාලවලදී එක් එක් ආසාවන්ට යට වෙලා ඉන්නවා.

පුංචිම කාලෙත් එක එක්කෙනාට එක එක ආසාවන් තිබුණා. හැමෝම ආස කලා තරුණ වයසේදී ……

හොඳ රස්සාවක් හොයාගන්න.
හොඳ ගෙයක් දොරක් හදාගන්න
හොඳ පවුලක් හදාගන්න
හොඳ දරුවො හදාගන්න
හොඳ වාහනයක් අරගන්න

ඒ විදිහේ ආසාවන් නිසාම එක එක අය තමන්ගේ ජීවිතේ ගෙනියන්න එක එක පාරවල් යොදාගත්තා. සමහරු ඉංජිනේරුවෝ වෙන්න වෙනම පාරක යන්න පටන් ගත්තා

සමහරු දොස්තර ල වෙන්න වෙනම පාරක් හොයා ගත්තා

සමහරු ගණකාධිකාරවරුන්, ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ සඳහා එක එක පාරවල් හොයාගත්ත

ඒ පාර වල යද්දි සමහරු මල් පාරේ ගියා. ගල් පාරවල ගියා. වෙරළ පාරේ ගියා .රේල්පාර වල ගියා. හරි පාරේ කියලා හිතාගෙන ගොඩක් දෙනා වැරදි පාරවල් වලත් ගියා….

ඉංජිනේරුවෝ වෙන්න ගිහින් සමහරු පාරවල් හදන කම්කරු වුණා. දොස්තරලා වෙන්න හීන මවපු සමහරු කොන්දොස්තරලා වුණා. නීතිඥයෝ වෙන්න හීන මවපු සමහර අයට උසාවිය ළඟ කඩල විකුණන්න වුණා. ගණකාධිකාරිවරු වෙන්න හිටපු සමහරු කඩ වල බඩු විකුනන්න වුණා.

ඒ අයට තම තමන් ආසාවෙන් ගියපු පාරවල් ගැන විශ්වාසය නැති වුණා. සතුට හොයන් ගිය ඒ පාරවල මහා දුකක් තිබුණා. මේක අපේ උරුම කියලා හිත හදාගෙන ජීවිතේ ගෙවද්දි ආයෙ ආයෙමත් ජීවිතයට පාරවල් මුණගැහුණා . සමහරු ඒ පාරවල් වල කැමැත්තෙන්ම ගියා. සමහරු අකමැත්තෙන් වුණත් අඬ අඬා ම ගියා.

සමාජයේ නරක නාම ලැබුණා .හිරේ විලංගුවේ වැටෙන්න ට සිද්ධ වුණා. අනාථ වෙන්නත් ඇති. අසරණ වුණා.සිහිකරලා බලපුවාම අපි ගියපු පාරවල් ගැන ඒ පාර වල යද්දි අපි අපේ හිත් රාගයෙන් ද්වේශයෙන් යට වෙලා ගිහින් ඇරඹුමේ ඉඳන් හැම අඩියක්ම තිබ්බේ මුලාවෙන් ම නිසා සැපය හොයාගෙන ගියාම දුක කණගාටුව පසුතැවිල්ලයි ලැබුනෙ.

සමහර අයට නම් ආ ගිය පාරවල් මතක් කරද්දි බලාපොරොත්තු උනාටත් වඩා ජීවිතේ සාර්ථක වුණා කියලා සතුටක් හිතෙනවා ඇති. ඒත් හිතට තට්ටු කරල ඇහුවොත් ඇත්තම කතාව ආපු පාර හරිද කියලා කියලා ඒ සාර්ථක පාර ගියා වුනත් දුකින් මිදීමක් ගැන ඔබ දැනගෙන හිටියේ නෑ නේද ….?

එක එක අවස්ථාවල අපි වැරදි පාර වල යද්දි ගුරුවරු අපිට තරවටු කළා. අපිව හරි මඟට ගත්තා. දෙමව්පියෝ අපේ පස්සෙන්ම හිටියා. අපිව යහමගට ගත්තා .වැඩිමහලු සහෝදර සහෝදරියොත් එහෙමයි. අපිට නම් දුක් විඳින්න වුණේ නෑ කියන්න පුළුවන් ජීවිතත් මේ ලෝකෙ තියෙනවා තමයි .

නමුත් මේ කවුරුත් ගිහින් අවසානයක් නොදැකපු, සුන්දර පටන් ගැනීමක්… සුන්දර අවසානයක්… ඇති පාරක් මේ ලෝකෙ තියෙනවා.

ඒ පාර ගැන, නුවණැති සත්පුරුෂයන්ට දැනගන්න ලැබුනහම, එය දිවි දෙවෙනි කරගෙන හරි යන්න උත්සාහ ගත්තා. සැමටම උරුම ජරා ව්‍යාධි මරණ දුකින් ඒ උදවිය නිදහස් වුණා. ඔවුන් ගියපු මග තමයි දුකින් නිදහස් වෙන සැබෑම මග…

ඒ මාර්ගය ලොවට විවර කළේ සාමාන්‍ය කෙනෙක් නම් නොවෙයි. අසාමාන්‍ය අසහාය අසම සම කෙනෙක් තමයි අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයේ නොයෙක් නොයෙක් ශාස්තෘවරු නොයෙක් නොයෙක් මාර්ග දුකින් මිදෙන මාර්ගය කියලා කියා හිටියට, ඒ එකම මාර්ගයක වත් ගමන් කරලා දුක් අවසන් කරන්න බෑ කියල උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා.

කාමයන් අත්නොහැර, සැප විඳ විඳ ගියත් ජරා මරණ දුකින් මිදුන ජීවිතය දුකට වැටෙන හැටිත්, දැනගත්ත .ශරීරයට අතිශය කටුක දුක් වේදනා දීමෙනුත් දුකෙන් නිදහස් වීමක් නැති බව දැනගත්ත. දුකින් නිදහස් වීම සිදු කරන්න නම්, සියලු දුක් උපදවන ඉපදීම නිරුද්ධ කළ යුතු බව අවබෝධ කරගන්න ඕනි බව කියලා දුන්නේ අපේ උත්තරීතර වූ බුදු පියාණන් වහන්සේ යි …

අද අපට නම් මේ පාරෙන් එන්න ….කියන්න ධර්මය කියා දෙන කලණ මිතුරු ගුරුවරු සිටිනවා. ඒත් උන්වහන්සේට එහෙම කියලා දෙන්න කවුද හිටියේ. කවුරුවත්ම නැහැ . කියලා දුන්න කිසිම පාරකින් උන්වහන්සේට අවසානයට යන්න පුළුවන් වුණේ නෑ. නමුත් ලොවේ උපන් ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ හැටියට, භාග්‍යවත් ම පින්වන්ත ම වීර්යවන්ත ම ප්‍රඥවන්ත උත්තමයන් හැටියට අපගේ ශාස්තෘන් වහන්සේ ගුරු උපදෙස් නැතිව හරි පාර හොයා ගත්තා .

මේ ලෝකෙ ඉන්න නුවණ තියෙන කෙනෙක් දුකින් මිදෙන්න කැමතිම කෙනෙක්, යන්න කැමැති විය යුතු පාර ,ආරම්භයත් මැදත් අවසානයත් කල්‍යාණ වූ පාර, දෙවියන් බඹුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝක ප්‍රජාවට වැසී තිබුණු පාර, සුන්දරම තැනට නුවණැතියන් පමුණුවන පාර, උන්වහන්සේ ස්වයංභූ ඥානයෙන් අවබෝධ කොටගෙන විවර කොට වදාළා…..

ඉසිපතනේ නැඟුණු ඒ දම් සක හතළිස් පස් වසරක් පුරා බුදු මුවින් ගලා ආවේ ලෝසත කෙරෙහි පතල මහා කරුණාවෙන්. ඒ බුදු වදන් විශ්වාස කරපු කෝටි ප්‍රකෝටි ගණන් දෙව්-මිනිසුන් ඒ පාරේ ගියා.දුෂ්කර වුණත් ඔවුන් ඒ පරේ ගියා. දුකසේ තමයි සිල් රකින්න පුළුවන් වුණේ .සමහර විට මුලු ජීවිතේට මහණ වුණේ එක බණ පදයක් අසායි. මැදුරුවල දාසයෝ ,අසූචි කත් අදින කුලහීනයා, රට රාජ්‍ය පාලනය කළ රජවරු ,වෙළදාම කළ ගෘහ පති වරු ,පුරෝහිත කම්කල බ්‍රාහ්මණ වරු ,දරුවන් බොහෝ සිටි අම්මාවරු, දුකසේ කටුක වුණත් ඒ පාරේ ගියා .

ඇහුන එකම එක බණ පදයක් නිතර සිහි කළා. කටපාඩමින් දාගත්තා. නුවණින් විමසුවා. තෙරුවන් සරණ පිහිටිය. අතිශය දුක් විඳිමින් වුණත් සීල සමාධි ප්‍රඥා වඩන ඒ උතුම් පාර දිගේම ගියා.

සංසාරය පුරා මහ සාගරයක් තරම් දුක පොදි බැඳගෙන ඇවිත් තණකොළ බින්දුවක් තරම් ඒ දුක් තුනී කරගත්ත ඒ හැමෝම තමන් ආපු මඟ ගැන සතුටු වුණා. අවසානයේ සියලු දුකින් මිදුන ඒ මිනිසුන් මොන තරම් නම් භාග්‍යවන්තයිද…

එතකොට අද අපි භාග්‍යවන්ත නැද්ද?

කලක් තිස්සේ අපි ගිය පාරවල් වැරදීද… ඒත් අපි අවාසනාවන්තව නම් නොවෙයි සමහර තමන්ගේ වාසියට මේ හරි පාරවල් වසා දමන්න හැදුව තමයි. හැබැයි ඔන්න පහල උනා ඇස් ඇති කෙනෙක්, ජවය ඇති කෙනෙක්, පින් ඇති කෙනෙක්, ඒ උත්තමයා වැසී යමින් තිබුණ ඒ හරි පාර උතුම් පාර ආයෙමත් ලෝකෙට විවෘත කළා .

තම තම නැණ පමණින් තේරුම්ගත හැකි වූ ඒ ධර්මය තම තමන්ට තේරෙන භාෂාවෙන්ම කැමැත්ත ඇති ඕනෑම කෙනෙක්ට ගන්න පුළුවන් .ඒ පාර යන්න කැමති අයට කලන මඟ විවර කළ සත්පුරුෂයන් වහන්සේ උපකාර කරනවා. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සියලු දුක් අවසන් කිරීමෙන් කෙලවර වෙන මේ පාරට තමයි ලෝකයේ තියෙන සියලු යහපත් දේ අයිති වෙන්නේ.

ඒ තමයි සියලු සැපත උදාකර දෙන පාර.

අතිශයින්ම දුර්ලභව ලෝකයට විවෘත වන නුවණැත්තන්ට පමණක් ගෝචර වන පාර.

සියලු දෙනාට දෙලොව යහපත ඇති කර දෙන පාර

අඬ අඬා හරි කමක් නෑ සියලු දුකෙන් නිදහස් වෙන්න ඕනේ නම් මේ පාරෙන් එන්න….

හොයන්න ඒ පාර ගැන….

පුරුදු කරන්න පාරේ ගමන් කරන ක්‍රමය…

ජීවිතයට ගලපාගන්න ඒ පාරේ යා යුතු ආකාරය …..

අනුන් තුළින් නෙමෙයි, තමන් තුලින් දකින්න…. මෙම පාරේ යනවිට සිදුවන සුන්දර වෙනස. ඔය පාරෙ යන උත්සාහවත් නොවීම නිසාම තමයි, අපි මේ කඳුළු, සුසුම් හෙළුවේ. හඬා වැළපුණේ ….

මේ තියෙන්නෙ හරි පාර …. ලාභයක් අපට ලැබිලා තියෙන්නෙ……… මේ ලාභය ලඟා කරගන්න ජීවිතේ උපරිම ශක්තියෙන් මුහුණ දෙන්න.

ඒ ශක්තිය නිරන්තරයෙන් ඔබට ලැබෙන්නට බෞද්ධ සහෝදරත්වයෙන් අප ආශිර්වාද කරමු……..

You might also like
en English
X
X