Temples of Sri Lanka

දම් වැසි වස්සන, සුපින්බර ඉල් පුන් පොහෝ දිනය අදයි…..

Vesak day, Buddhist lent day, Buddha's birthday worshiping concept with woman's hands holding water Lilly or lotus flower

සූර්යයා වෘශ්චික රාශියේ ගමන් කරමින් සිටින මාසය ඉල් මාසය බව ජෝතිෂ්‍යය මතය දරයි.උදක් ම දහම සඳහා ලැදි වූ ජනතාවට ඉල් මාසය යනු ඉතා වැදගත් මාසයක් ලෙස හඳුන්වමු.

බුදු දහම ගම් නියම් ගම් රට රාජ්‍ය කරා පතුරුවා හැරීමේ ධර්ම ප්‍රචාරක මහා සේවාව ආරම්භ වීම ඉල් මාසයේ සිදුවූවක් බව සඳහන් වෙයි .

වර්තමාන ලෝකය පුරා ශීඝ්‍රයෙන් බුදු දහම පැතිරී ගොස් ඇති කාරය දෙස බලන විට ඕනෑම බුද්ධිමත් නුවණැති පුද්ගලයකුට ඉල් මාසය ඉතා වැදගත් මාසයක් බව හැඟී යයි. එය මනුෂ්‍යයාගේ නුවණ අවදි කිරීම ආරම්භ කළ මාසය බවට පත්වෙයි.

අධික සීතලක් සහ අධික වර්ෂාවක් ඇති මාසයක් ලෙස පැරැන්නෝ සලකන ඉල් මාසය,බොහෝ විට ඇතිවන වර්ෂාව නිසා ම වැව් පොකුණු ඇළ දොළ පිටාර ගැනීමද මේ කාලයේදී සිදු වෙයි.

බෞද්ධ ශාසන ඉතිහාසය සඳහන් පරිදි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයන් 60 නම “බොහෝ දෙනාගේ හිත සුව පිණිස ” සද්ධර්ම චාරිකාවේ යෙදුණේ අද වන් වූ ඉල් පෝ දිනකයි.

ප්‍රථම ධර්ම දූත පිරිස අතර ….

භද්දිය රහතන් වහන්සේ
වප්ප රහතන් වහන්සේ
මහා නාම රහතන් වහන්සේ
අස්සජි රහතන් වහන්සේ
අඤ්ඤා කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ

යන පස්වග මහණුන් වහන්සේලාත්

යසකුල පුත්‍රයා වූ යස රහතන් වහන්සේත් උන්වහන්සේගේ මිතුරන් පනස් හතර දෙනා වහන්සේලා විය.

මෙම 60 හැට දෙනා වහන්සේලාම ධර්ම දූත සේවාවට යොමු කළ යොමු කළ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරමින් භද්දවග්ගිය කුමාරවරු මුණගැසී ඔවුන්ට ද ධර්මය දේශනා කොට නිවන් මඟ පහදා දුන් සේක.

බෞද්ධ ඓතිහාසික තොරතුරු වලට තවත් වූ කරුණු ඉදිරිපත් කරන ඉල් පුන් පෝ දින සිදුවූ තවත් වැදගත් සන්ධිස්ථාන කිහිපයක් මෙසේ සඳහන් කරමු …

මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම, එනම් තුන් ලෝකාග්‍ර වූ මහා ප්‍රඥාවන්ත වූ බුදුරජාණන් කෙනෙක් දස පාරමිතා පුරමින් අනාගත බුදුවරයෙකු වීමට පෙම් පුරන්නා වූ උතුම් මිනිසෙකුට හෙවත් බෝධිසත්ව වරයෙකුට මතු දිනක ඔබ නියත වශයෙන්ම බුදු වන්නේ යැයි සඳහන් වදන් පැවසීමයි .

මෙදිනමෛත්‍රී බෝසතාණන් විසින් දේවාරෝහණ පූජාවට සහභාගීවූ බුදුරජාණන් වහන්සේ වෙත සළුවක් ගෙන ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ ගන්ධ කුටියෙහි වියනක් සේ බැඳ පූජා කළේය. මෙම අවස්ථාවේදී ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් මෛත්‍රී බෝසතුන් මතු බුදුවීමට නියත විවරණ ලැබුණු අවස්ථාව එලැඹීය.

එසේම අනාගතයේ දී බරණැස කේතුමතී නුවර සංක රජුගේ අග්‍ර පුරෝහිතයානන් වූ සුබ්‍රහ්ම සහ ඔහුගේ බිරිඳ බ්‍රහ්මවතී ට අනාගත මෛත්‍රී බුදුන් පුත් තනතුරේ උපදින බව දිව්‍ය ඥානයෙන් බලා වදාරන ලදී. එසේම නුග ගසක් යට මෛත්‍රී බුදුන් බුද්ධත්වය ලබන බවද වදාළ බව සාහිත්‍ය තොරතුරු හෙළි කරයි .

නේරංජනා නදී තීරයෙහි විසූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප, යන ජටිල තාපසයන් තුන්දෙනා දමනය කොට බුදු සසුනෙහි පැවිදි බවට පත්වූයේද මෙම පෝදිනයේය.

තම මෑණියන් වූ මිසදිටු රූප සාරි බැමිණියට දහම් දෙසා යහමගට ගැනීම සිදුකළ, බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සැරියුත් රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ද මෙම උතුම් පෝදින සිදුවූ තවත් වැදගත් සිදුවීමකි .

බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කරමින් ලංකාවේ ප්‍රථම ස්තූපය වූ ථූපාරාම චෛත්‍යය දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද්දේ ද අද වන් වූ උතුම් ඉල් පොහොය දිනයකදීය .

පසු වස් පවාරණය කළ යුතු දිනය වීම සහ චීවර මාසයේ අන්තිම පොහොය වීමද, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය ඉල් පොහෝ දිනය වීම ද වැදගත් තවත් සිදුවීමකි.

පහන් සිත් ඉපදෙන ,සුපහන් ආලෝකයෙන් නැහැ වෙන ,දැහැමි සිතුවිලි රජයන, පින්බර වූ ඉල් පුන් පොහෝ දිනක් වේවා ඔබ සැමට ….

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X