Temples of Sri Lanka

දලයි ලාමා හිමියන්ගේ 31 වන නොබෙල් සාම ත්‍යාග සංවත්සරය

නොබෙල් ත්‍යාගය වනාහි,භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, කායික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය ඇතුලු විවිධ වූ ක්ශේස්ත්‍රයන්ගේ   ආකර්ශනීය වූ දියුණු තත්වයන් ඇගයීම උදෙසා වාර්ෂිකව පිරිනමනු ලබන ජාත්‍යන්තර සම්මානයකි.

 

අවිහිංසාවාදී දර්ශනයක් ඔස්සේ සාමකාමී ක්‍රියාපිළිවෙතක් දියත් කරමින්,බොදු හද වැළඳ ගත්  බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වූ අති උතුම් දලයි ලාමා හිමියන් වෙත 1989 වර්ෂයේ දී  පිරිනමන ලද නොබෙල් සාම ත්යාගය ලැබී අද දිනට වර්ෂ තිස් එකක් සපිරෙන සංවත්සරය ඉතා ගෞරවාන්විතව සමරමු…

 

ආදරය කරුණාව දයාව සමානාත්මතාවය සහ සහජීවනය තම ඉලක්ක ගත අරමුණු කරගත් අති උත්තරීතර  හිමිනමක් වූ  දලයි ලාමා හිමියන්  ටිබේටයේ විමුක්තිය සඳහා වූ අරගලයේ දී ප්‍රචණ්ඩත්වය හා කලහාකාරී ස්වභාවය  භාවිතයට  නිරන්තරයෙන් ම විරුද්ධ ව, ඒ වෙනුවට තම ජනතාවගේ ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීමටත් ඉවසීම සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ සාමකාමී විසඳුම් සොයා දීම වෙනුවෙන් පෙනී සිටි  හිමිනමකි.

 

උන්වහන්සේ සිය සාමය පිළිබඳව දර්ශනය වර්ධනය කර ඇත්තේ, ජීවත්වන සියලුම දේ කෙරෙහි වූ මහත් ගෞරවයෙන් සහ සියලුම මිනිස් වර්ගයා මෙන්ම  සොබා දහම වැළඳ ගන්නා මුළු මහත් විශ්වයේම  වගකීම යන සංකල්පය පෙරදැරි කර ගනිමිනි.

 

පිටුවහල් වී සිටියදී පවා දලයිලාමා හිමියන් ටිබෙට් ජනතාවගේ සංස්කෘතිය ආරක්ෂා කර දීමටත්,  ඔවුන්තුළ වූ අවශ්‍යතාවයන් ඉටු කර දීම සඳහාත් සාමය මූලික කරගත් පදනමක් ඔස්සේ තම වීර්ය වැඩූ හිමිනමකි.

 

උන්වහන්සේ විසින් දියත් කරන ලද අවිහිංසාවාදී ප්‍රතිපත්තිය තුලින් මිනිසා තුළ  හැඟීම් ප්‍රකම්පිත කරවීමටත්, මිනිස් හදවත්  දයාවෙන් පුරවා ලීමටත් තමා ලත් ප්‍රයත්නයන් ගේ සාර්ථක ප්‍රතිඵලයන් ළඟා කර ගැනීමටද  සමත් වූ  හිමි නමකි.

 

1987 වර්ෂයේදී පැවැති මහා විරෝධතා මධ්‍යයේ , දලයි ලාමා හිමියන් විසින් යෝජනා කරන ලද කරුණු පහක සැලැස්මක් මතින්, සාම කලාපය ලෙස ටිබෙට් පිහිටුවීම ඉල්ලා සිටිමේඅවිහිංසා වාදී ස්ථාවරය තුල එක හෙලාම අදහස් ඉදිරිපත් කල අතරම,එම ප්‍රතිපත්තීන් තුළ වූ වෙනස් නොවූ අධිශ්ඨානයන් උදෙසා  ම,  1989දී නොබෙල් සාම ත්‍යාගය උන්වහන්සේ වෙත පිරිනමන ලදී.

 

හිමිනමක් වශයෙන් ආදරය  කරුණාව දයාව මූලික කරගත් අවිහිංසාවාදී ප්‍රතිපත්තියේ යෙදී සිට, තම ප්‍රතිපත්තීන් ඉදිරියට ගමන් කරවූ දලයි ලාමා හිමියන්, නොබෙල් සාම ත්‍යාගය ලැබීමට  උරුමකම් කියූ ලොවට පහළ වූ එකම භික්ෂූන් වහන්සේ ලෙස, ලෝක පූජිත වූ අතර එනිසාම උන්වහන්සේ ලෝක බෞද්ධ නායකයා ලෙස ද නම් දැරිය.

 

ථෙරවාදී බෞද්ධ දර්ශනය තුළ පමණක්  නොව, ලෝකයේ අනෙකුත් රටවල් වලටද පොදු වූ ලෝක බෞද්ධ නායක හිමිනමක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.

 

ටිබෙටය චීනය යටතේ පැවතිය ද ,යුධමය වාතාවරණයකින් තොරව ඉතා සාමකාමී ප්‍රතිපත්තීන් මගින් පැවතීම… මිනිසුන් අතර සාමය දයාව කරුණාව ප්‍රචලිත කරමින් සිත් සතන් දයානුකම්පාවෙන් පෝෂණය කිරීමට සහ ආදරය සහ කරුණාව යන්නෙහි සත්‍යතාවය පහදමින් මිනිස් මනස පෝෂණය කිරීමට උන්වහන්සේ ගත් ප්‍රයත්නයන්ගේ සාර්ථකත්වය අද ද කියාපාන්නකි.

 

සියලු අහිමි වීම් තුළ, සුභවාදී හා ස්වභාවික වූ සංසිද්ධීන් ඔස්සේ චින්තනය සකස් කිරීමට යත්න දරමින් මිනිස් සිත තුළ සාමය සංවර්ධනය  කළ උන්වහන්සේ ,අදටත් අවිහිංසාවාදී අදහස් වලට ගරු කරමින් මිනිස් සන්තානය ඒ මතින් පුබුදුවාලීමට සමත් ය .

 

කලකෝලහල.. පළිගැනීම්… කලබල කාරී තත්ව නොසන්සුන්කම වෛරය ..ආදී මිනිස් සන්තානය තුළ පහල වන්නාවූ ක්‍රියාවන් වුවද, ඉන් ඔබ්බට වූ සාධාරන ලෝකයක් දායද කිරීමට  කරුණාව හා ආදරය මූලික කොට ගත් උන්වහන්සේගේ මාර්ගය තුළින් පැවැත්ම දැකීමට උන්වහන්සේ මිනිසුන් පෝෂණය කරන ලද්දාහුය.

 

තමාට උරුමකම් කියන ලද දෙමාපිය, ඥාති , සහෝදර,හිතවත් , සහ සහෝදර භික්ෂූන් ,යන සියලු අධ්‍යාත්මීය බැඳීම් සහ ඉඳුම් හිටුම් ගෙවල් දොරවල් ආදී භෞතික බැදීම් අහිමි වීම තුළද අවිහිංසා වාදී චින්තනය සාක්ෂාත් කරගත්  දලයි ලාමා හිමියන් අති උත්තරීතර වූ මානසික ගුණයක් වන දරාගැනීමේ ශක්තිය මිනිසා තුළ ජනිත කරවීමට තම ශක්තීන් විශ්වීයකරණය කළ හිමිනමක් ලෙස ගෞරවයෙන් සිහිපත් කරමු.

 

1989 වර්ෂය තුළදී ලබාගත් නොබෙල් සාම ත්‍යාගය සමඟ උන්වහන්සේ උරුමකම් කිවූ මුදල් ත්‍යාගය ද, පෞද්ගලික හිමිකමක් ලෙස රඳවා නොගත් උන්වහන්සේ, මිනිස් තත්ත්වයන් හමුවේ  උදව් ලබාදීම සඳහාත්… සාමය සමගිය හා බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් පෙනී සිටි සංවිධානයන් උදෙසා ප්‍රධාන කිරීමටත් පෙළඹීම, උන්වහන්සේගේ වූ ශ්‍රේශ්ඨ ප්‍රතිපත්තීන් තුළ ඉතා කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස දහන් කළ හැකිය.

 

වික්ෂිප්ත වූ මිනිස් මනස සාමය සහජීවනය දයානුකම්පාව වැනී ආකල්පමය අදහස් මතින් පුරවාලීමට හා  අවිහිංසාවාදීත්වය තුළින් මිනිසා වෙත අදහස් ප්‍රේරණය කිරීමට ප්‍රයත්න දැරූ…නොබෙල් සාම ත්‍යාගය මගින් ඇගයීමට ලත් ලෝකයේ එකම භික්ෂූන් වහන්සේ ලෙස පත් උන්වහන්සේගේ ක්‍රියා දාමයන් ලොව පුරා වූ බෞද්ධ හිතකාමී වූ ප්‍රජාවට ආදර්ශමත් නායකත්වයක් ලෙසට වූ නිදර්ශනයකි.

 

බෞද්ධ අදහස්, බෞද්ධ ආකල්ප,බෞද්ධ දර්ශනයට මුල් තැන දෙමින් ක්‍රියා කරන්නා වූ රටක් වශයෙන් ,මෙම ලෝක නායකයාණන් වහන්සේට නමස්කාර පූර්වක වූ ගෞරවය පුද කර සිටිමු .

 

“බුදු රජාණන් වහන්සේ උපත ලැබුවේ උන්වහන්සේගේ  මව උපකාරය සඳහා ගසකට හේත්තු වී සිටියදීය.  ගසක සෙවණ ලබමින්  සිටියදී  බුද්ධත්වයට පත් වූ උන්වහන්සේ  ගස් ඉහළින්  දරා සිටියදී පරිනිර්වාණයට පත් විය.  එබැවින් බුදුන් වහන්සේ අපේ ලෝකයට නැවත පැමිණියොත් නම්, උන් වහන්සේ  නිසැකවම පරිසරය ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයට සම්බන්ධ වනු ඇත.” “මා වෙනුවෙන් කථා කිරීම, පරිසරය ආරක්ෂා කිරීම හා සම්බන්ධ මුල පිරීම්වලට සහාය දැක්වීමට  මා කිසිදු පැකිලීමක් නැත. මන්ද, අපගේ පරිසරයට තර්ජනක් වී ඇත්තේ,  අපගේ පැවැත්ම තුළ ඇති  ප්‍රශ්නයක් වන බැවිනි.  මේ ලස්සන නිල් ග්‍රහලෝකය අපේ එකම නිවසයි.  එය අද්විතීය හා විවිධ ප්‍රජාවන් සඳහා වාසස්ථානයක් සපයයි.  අපේ පෘථිවිය රැකබලා ගැනීම යනු අපේම නිවසක් බලා ගැනීමයි”. ලෙස දයානුකම්පිත අදහස් ඉදිරිපත්  කරමින්,අපගේ ස්වාභාවික සම්පත් අධික ලෙස සූරාකෑමේ ප්‍රතිඵලය  වන්නේ නොදැනුවත්කම සහ කෑදරකම සහ මිහිපිට ජීවයට ගරු නොකිරීමයි. දේශගුණික අර්බුදයෙන් ලෝකය බේරා ගැනීම අපගේ පොදු වගකීමයි.  වගකීමෙන් යුතුව නිදහස ක්‍රියාත්මක කිරීමට ක්‍රම සොයා ගත යුතුය යනුවෙන් දලයි ලාමා හිමි විසින් මානව හිතවාදී අදහස් ප්‍රකාශ කරන ලදී.

 

 “මනුෂ්‍යත්වයේ ඒකීයභාවය පිළිබඳ හැඟීමක් ඇති වඩාත් සානුකම්පිත ලෝකයකට දායක වන උණුසුම් හදවත් මත පදනම් වූ අනුකම්පාවේ විප්ලවයක් අපට අවශ්‍යය.  අපගේ පොදු වගකීම් ආරක්ෂා කිරීම සඳහා සමස්ත මිනිස් පවුලම එක්සත් වී සහයෝගයෙන් කටයුතු කළ යුතුය.  වඩාත් තිරසාර ජීවන මාර්ගයක් ළඟා කර ගැනීමට දරන උත්සාහයන් සාර්ථක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි”

 

අවිහිංසාවාදය මුල්කරගත් මතු බුද්ධත්වය පතන අවලෝකිතේශ්වර යුගාත්මයක් වශයෙන් ද උන්වහන්සේ නම් දරයි. බෞද්ධ දර්ශනය තුළින් කැපී පෙනෙන්නා වූ නිහතමානී අවිහිංසාවාදී මිනිස් සංහිඳියාවේ මුඛ්‍ය පරම දර්ශනයම ඉදිරිපත් කරමින් ලෝක බෞද්ධ නායකයකු වූ දලයිලාමා හිමියන් නොබෙල් සාම ත්‍යාගය ලැබූ එකම භික්ෂූන් වහන්සේ හා ලෝක බෞද්ධ සමාජය තුළ ආදර්ශමත් භික්ෂූන් වහන්සේ නමක් ලෙසට වසර තිස් එකක් පිරෙන මෙවන් අති වන්දනීය වූ අවස්ථාවක වර්තමානයේ ද  දෘශ්‍යමාන වන  උන්වහන්සේගේ අවිහිංසාවාදී ගුණය ඇගයීමට ලක් කරමින් දීර්ඝායු ප්‍රාර්ථනා කර සිටිමු.

 

10.12.2020

© Buddhist Brotherhood

 

You might also like
en English
X
X