Temples of Sri Lanka

අවවාදයට වඩා උතුම් වූ ආදර්ශය…

කිසියම් පුද්ගලයෙක් වෙත අවවාද අනුශාසනා ලබා දෙමින් සුගතිගාමී ප්‍රතිපත්තියන් වෙත ඔවුන් යොමු කිරීම ඉතාමත් සත්කාරයක්.

ඒ වගේම පුද්ගලයින්ට උපදෙස් ලබා දෙන්නන් සියලුම දෙනා ප්‍රතිපත්ති ගරුක වීම ඉතාම වැදගත්. බෞද්ධ දර්ශනය තුළ දී අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්නලා තියෙන්නේ ඒ නිසයි.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නායකත්වය කැපී පෙනීමට උන් වහන්සේ ගෙන ගිය ආදර්ශ සම්පන්න වූ ප්‍රතිපත්තීන් ඉමහත් ඉවහල් වූ බව සත්‍යක්.

භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවනක් පිරිස වෙත බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ ප්‍රතිපත්ති රැසක්ම ආදර්ශය තුළින්ම ලබා දී ඇති ආකාරය අපට පැහැදිලි වෙනවා.

මෛත්‍රී වැඩීමේ මහිමය ලෝ සත්වයාට අවබෝධ කර දෙනු ලැබුවේ තමන් වහන්සේට විරුද්ධවාදී කම් සිදු කළ දේවදත්ත තෙරුන් වහන්සේට ද අපමණ මෛත්‍රියක් පතුරුවා හරිමින් බව අපට පැහැදිලියි. තම මව මරා ආනන්තරිය පාප කර්මයක් සිදුකර ගැනීමට පෙර අංගුලිමාලයන් බුදුරජාණන් වහන්සේ විසින් ඉන් මුදා ගත්තේත්, අසරණ සුනීත සෝපාක රජ්ජුමාලා පටාචාරා ආදීන්ට වගේම තමන් වහන්සේට නින්දා අපහාස කළ චිංචි මානවිකාවටත් මාගන්දියා ටත් කරුණාව පෙරදැරි කරගෙන ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ දරුණු කුෂ්ඨ රෝගයට පිලියම් සෙවු වේ ද තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්. උන්වහන්සේම උණු පැන් ගෙන සෝදා පිරිසිදු කළ අපූර්වත්වය සද්ධර්මරත්නාවලි කතුවරයා එකී කතා වස්තුව තුළ ඉතා අපූර්වත්වයෙන් විග්‍රහ කරලා තියෙනවා.

ආදර්ශයෙන්ම අන්‍යයන්ට පිහිට වෙමින් උපදේශ ලබා දීමේ වටිනාකම හඳුනාගත් උතුම් නායකයාණෝ අපේ බුදුරජාණන් වහන්සේයි. වර්තමාන සමාජයේ පුද්ගලයින්ට බුදුරජාණන් වහන්සේගේ ආදර්ශ සම්පන්න ජීවිතය තුළින් ලබාගත හැකි උපදේශයන් බොහොමයක් තියෙනවා.

දැහැමි ක්‍රියාවන්ට අනුගත ව සෙසු සත්වයින්ට යහපත් මාර්ගය පෙන්වා දිය හැකි අන්දම බෞද්ධ දර්ශනය තුලින් මනාවට විස්තර කරලා තියෙනවා.

තාවකාලික ලාභ අපේක්ෂාව පෙරදැරි කරගෙන පුද්ගලයින් විෂයෙහි ලබා දෙන අවවාද අනුශාසනා ඵල රහිතයි. විශේෂයෙන් කුඩා දරුවන්ට අවවාද ලබා දෙන වැඩිහිටි පාර්ශවය වැරදි ක්‍රියා කලාප අනුගමනය නොකිරීමට වගබලා ගත යුතුයි.මන්ද කුඩා දරුවන් වැඩිහිටියන් අනුගමනය කිරීමට ඇලුම් කරන පිරිසක්. මේ නිසාමයි වැඩිහිටියන් ලබා දෙන යහපත් ආදර්ශ වැදගත් වන්නේ.

එහෙයින් ආදර්ශය තුළ අවවාද කිරීමට වඩා යම් දෙයක් උකහා ගැනීමට අවස්ථාව ඇති බව අප මැනවින් වටහා ගත යුතුයි. සමාජය තුළ බාල තරුණ මහලු කවුරුත් අතර උපදෙස් ලබා දෙන පිළිගත් පිරිසක් සිටිනවා. ඔවුන් ගේ යහපත් චේතනා ගෞරවයෙන් අගය කළ යුතුයි. එමෙන්ම පිළිගත් පුද්ගලයින් හොර රහසේ වැරදි ක්‍රියාවක් කිරීම ඔවුන්ගේ ගරුත්වය බිඳවැටීමට හේතු වන බව ද මනා අවධානයකින් සිහි තබා ගත යුතුයි.

සැරියුත් මහරහතන් වහන්සේ මහමග වඩින අවස්ථාවේ සිවුර පොටක් බිම ඇතිල්ලී තිබෙනු දුටු කුඩා හිමිනමක් සැරියුත් හිමියන්ට දැන්වූ පසු උන්වහන්සේ කුඩා හිමියන්ට ප්‍රශංසා කරමින් තමා අඩුපාඩුව සකසා ගන්නට සමත් වූ බව සඳහන් වෙලා තියෙනවා.

බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය තුළ උඩගු බවක් මානයක් කිසිවිටෙකත් දක්නට ලැබුණේ නැහැ. බුද්ධ කාලයේ උගත් කම නිසා මන්නයෙන් සිටි භික්ෂූන් ගේ අනුවණකම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ අතරම වීර්යයෙන් බණ භාවනා කරමින් නිවන් සැපත පසක් කර ගැනීමට ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලා පිළිබඳ අගය ද පැහැදිලි කරල තියෙනවා.

යම් භික්ෂූන් වහන්සේ නමක් ත්‍රිපිටකය මනාව ඉගෙන ගෙන අනුන්ට උගන්වමින් තමා ධර්ම පිලිවෙත ක්‍රියාවට නංවන්නේ නැත්නම් ඔහු අනුන්ගේ ගවයන් බලාගන්නා ගොපල්ලෙක් වගේ කියලා සඳහන්ව තියෙනවා. පස්ගෝ රස ලැබීමේ වාසනාව ගොපල්ලාට නැත්තා සේම ධර්ම පිළිවෙත අනුගමනය නොකරන අයටද නිවන් සැප ලැබිය නොහැක.

යමෙකුට උපදෙස් අවවාද ලබා දී තමන් ද එකී ප්‍රතිපත්තිය මත පිහිටා සිටියි නම්,සමාජය සුවපත් වන්නේ එවිටයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දුකින් එතෙර වී ලෝ සත්ත්වයාට දුකින් එතෙර වීමේ මාර්ගය පෙන්වා දුන්නා .මේ ලෙස අනුන් යහමගට යැවීම සිදු කළ යුත්තේ තමන් ද ඒ මග යමින්.

යමෙක් ඡන්දය ද්වේෂය භය මෝහ යන සතර අගතියෙන් යුක්ත ව තීරණයක් ගන්නේ නම් එවන් පුද්ගලයාගේ යසස කීර්තිය අඳුරු පැහැයට යන හඳක් මෙන් පිරිහිලා අවසන් වන බව පෙන්වා දෙනවා.

අනිත් පුද්ගලයින් සුවපත් කරලීම උදෙසා කටයුතු කරන පුද්ගලයා ආදර්ශවත් ජීවිතයක් පවත්වාගෙන යමින් සමාජයක් සුවපත් කර වීමට හේතු වන්නා සේ ම එවන් පුද්ගලයින් සතු යහපත් ගුණධර්ම නිසා ඔවුන් අප අතරින් සමු ගත්තද ඔවුන්ගේ අමරණීය නාමය අප ලඟ ඉතිරි කර යනවා.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X