Temples of Sri Lanka

අසිරිමත් සිත

හිත වනාහි ,සුන්දර වනාන්තරයේ වැහි වලාකුලෙන් ලස්සන වුණු කඳු වළල්ලේ නිදහසේ ඇවිද ගෙන යන මුවෙක් වගේ. දැන් අවුලක් නැති සිතින් මේ කඳුවළල්ලට වෙලා ඉන්නවා.

ඒයි… හිත, නුඹ පැරදුනු බවට මට කිසිම සැකයක් නැහැ .යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුඹේ කැමැත්තට අසු වෙලා ගියොත්, වසඟ වුනොත් ,කාම සැපය අනුභව කරන්නට ගියොත්, ඒ ගොල්ලො ඔක්කොම අවිද්‍යාව තුළටම ඇතුළු වෙනවා. ඒගොල්ලො එක්ක මාරයාගේ වසඟයට යනවා. යළි යළි උපදින්නට කැමති හැම දෙනෙක්ම නුඹගේ ගෝලයෝ තමයි.

අනේ ඒ උතුම් රහතන් වහන්සේලා කොයිතරම් සොඳුරු ජීවිතද ගෙවන්න ඇත්තේ… ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලෙ මේ ධර්මයට කැමැත්තක් ඇතිකරගෙන, ධර්මයෙන් සරණ ලබා නොදුන්න, මගේ ය කියන මේ හිත ගැන මට කලකිරීමක් දැනුනා…..

මාසේ දවස් 24ම එක දිගට වැඩ කරලා ඉතිරි නිවාඩු හතම එක පෙළට අරගෙන මේ තැනට ඇවිත් ගෙවන ඒ විවේකය මෙතරම් නිදහසක් දැනෙනවා නම්, මුළු ජීවිතේම ධර්මයට පූජා කරලා ලැබුණු ආහාරයකින්, ලැබුණු සෙනසුනකින්, සතුටු වෙලා ….ලැබුණු සිවුරක් දරාගෙන, පරම පිවිතුරු අදහසකින් යුතුව ගෙවුණු ඒ සරළ ජීවිත වලට කොයි තරම් සුවයක් දැනෙන්නට ඇත්ද ? හැම කෙලෙසුන් ගෙන් නිදහස් වුණු ඒ හිත් වලට කොයි තරම් සුවයක් ලැබෙන්නට ඇතිද…

ඒ රහතන් වහන්සේලා කොයිතරම් සුවයකින් ඇද්ද?

” සුඛෝ බුද්ධානං උප්පාදෝ ” ඒකාන්තයෙන්ම බුදුවරුන්ගේ පහළවීම නම් සැපයක් මයි.එක අතකින් මේ කාලෙදි මෙහෙම හරි ඒ රහතන් වහන්සේලාගේ ජීවිත ගැනඒ උතුම් ධර්මය ගැන ඉගෙනගන්න ලැබෙන එක පවා කොයිතරම් ලාභයක් ද කියලා හිතෙනවා.

තමාට බාහිරින් සම්බන්ධ වන අංගයක් වශයෙන් සලකන විට මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද කලණ මිතුරන් ඇසුරු කිරීම තරම් එයට හේතු වෙන එකම දෙයක් වත් දකින්නට නැහැ. කලණ මිතුරන් ඇසුරු කිරීම මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා. යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, කළණ මිතුරන් ඇසුර තරම් එයට හේතුවන එකම දෙයක් වත් දකින්නට නෑ .

ලෝකේ යොවුන් ළමයි, තරුණ ළමයි, හරිම ඉක්මනට යටවෙලා යන දුශ්චරිත ගැන මතක් වෙනවා. ධර්මය නොදැන හිටි අපිත් හරිය කියල හිතන් කරපු වැරදි ,….දෙමාපියෝ අපිව රකින්න හදනවා තමයි. ඒක ඇත්ත. ඒත් ධර්මයක් නැති දෙමව්පියන්ට මේ තරුණ හිත් වරදින් මුදන්න ලෙහෙසි දෙයක් නෙවෙයි. දඬුවම් කරලා හිර කරලා හිතට එන අකුසල් නවත්තන්න බැහැ. දෙමාපියොත් කුසලයෙන් වළක්වා ගෙන ඔවුනුත් අකුසලයෙන් මුදවා උතුම් ධර්මය ඒ ළමයින්ටත් කියලා දෙනවා නම් අන්න ඒකෙන් විතරමයි තරුණ ළමයි වරදෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නේ කියල හිතෙනවා.

හිත කැරකි කැරකි යන්නෙම ආස කරන දේටමයි. ආසා කරන දේ ලබාගන්න ලබාගන්න ඒ පස්සේ නොයෙකුත් දේ කරනවා. ඒක හරි දෙයක් ද වැරදි දෙයක්ද සුදුසුද නුසුදුසුද ඒ මොනවත් හිතන්නේ නැහැ. හිත ඒකට යට වෙලා යනවා. වැරදියි කියලා දැනගෙන හරිය කියලා හිතාගෙන ඒව කරන්නේ ඒකයි. ඒ ගැන ධර්මයේ තියෙන කාරණාවක් මතක් වෙනවා.

ආනන්දය විඳීම හේතුකොටගෙන ආශාව හටගණී. ආශාව හේතුකොටගෙන ආශා කරන දේ සොයයි. සෙවීම හේතුකොටගෙන ලැබෙයි. ලැබුණු දේ එහි වටිනාකම විනිශ්චය කරයි. වටිනාකම විනිශ්චය කිරීම හේතුවෙන් ඡන්ද රාගය ඇති වෙයි. ඡන්දරාගය හේතුකොටගෙන සිත එහි බැස ගනී. සිත එහි බැස ගැනීමෙන් එය තමා සතු කර ගනී. තමා සතු කර ගැනීමෙන් වෙනකෙකු එය ලැබීම ගැන අකමැති වෙයි. තව කෙනෙකුට එය ලැබීම ගැන අකමැති බව හේතු හේතුකොටගෙන එය රැක ගැනීමට වෙහෙසෙයි. රැක ගැනීම හේතු කොට ගෙන දඬු මුගුරු ගැනීම් අවි ආයුධ ගැනීම් කල කෝලාහල බේද බින්න වීම එකිනෙකාට ඇනුම්පද කීම කේලාම් බොරුකීම ආදී අනේක විධ ලාමක අකුසල ධර්මයන් හට ගනී.
(මහා නිධාන සූත්‍රය)

ඇතිවෙන ආශාව නැති කරන හැටි ගැන කැමති දේට නොඇලී හිඳීම ගැන කාමයන්ගේ ආශ්වාදය ගැන කාමයන්ගේ ආදීනව ගැන කාමයන්ගේ නිස්සරණය ගැන මේ ලෝකේ වෙන කිසිම ආගමක නැති ඇත්තම ඇත්ත ,නුවණ ටිකක් හරි තියෙන අයට තේරුම් ගන්න පුළුවන් කරුණු මේ උතුම් ධර්මයේ තියෙන අපූරුව….. ඒ වගේ ධර්මයක් අද අපිට උරුම වෙලා තියෙන හැටි ගැන හිතෙද්දි ඇත්තටම අපි තාම අසරණ වෙලා නෑනෙ කියලා හිතෙනවා.

මිනිස්සුන්ගේ ආයුෂ ඉක්මනින්ම ගෙවිලා යනවා. ඉපදුන සත්ත්වයාට ජරා-මරණ හැර වෙන මොකුත් නැහැ කියලා කරපු දේශනාවක් මතක් උනා. ආගමේ නාමයෙන් දැන් දැන් ලෝකයේ වෙන භයානක අපරාධ මතක් උනා .හඳුනා නොගත් බෙහෙත් නැති රෝග ගැන මතක් උනා. අනාගත මිනිස්සු අම්මා හඳුනන්නේ නැහැ තාත්ත හඳුනන්නේ නැහැ පවට ලැජ්ජා බය නැහැ අකුසලය කුසලය හඳුනන්නේ නැහැ ආදි වශයෙන් කරපු දේශනා මතක් වෙලා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන පුදුම හිතුනා .

ඒ වගේ ලෝකයක මේ වගේ කාලෙක ඉපදිලා මේ වගේ උතුම් ධර්මයක් ලැබුණා .මේ වගේ උතුම් කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහුනා. ඒකනම් පුදුම වාසනාවක් කියල හිතුනා. අනුන් කළ නොකළ දේ හොය හොයා ඉන්න එපා තමන් කළ නොකළ දේ හොයන්න කියපු දේශණාව මතක් උනා. මේ වැඩේ අම්මා කරලා දෙන්නේ නැහැ තාත්තා කරලා දෙන්නේ නැහැ වෙන කවුරුත් කරලා දෙන්නෙත් නැහැ කියන දේශනාව මතක් උනා. අනෙක් හැම දේම දාන්න දෙවැනි තැනට ධර්මයේ හැසිරීම ගන්න මුල් තැනට කියපු දේශනාවත් මතක් උනා.

අකුසලය අත් හරින්න. ඔය අකුසලය අත් හරින්න පුළුවන් .ඔබ යම් හෙයකින් මේ අකුසලය අත් හරින්නට පුළුවන් නිසා තමයි මේ විදිහට කියන්නේ අකුසලය අත්හරින කියලා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ කරපු දේශනාව මතක් උනා. කුසලය වඩන්න. කුසලය කියන්නේ වඩන්න බැරි දෙයක් නම් මේ විදිහට කුසලය වඩන්න කියලා කියන්නේ නැහැ කියලා කියපු දේශනා මතක් උනා.

මේ ජීවිතයේ දී මේ පුරුදු කරන ධර්මය මට පිහිට පිළිසරණ වේවා කියලා හිතලා ඒ උතුම් ධර්මයට නමස්කාර කරන්න. මේ ධර්මය තේරෙන බසින් කියල දුන්න උතුමන් වහන්සේට වන්දනා කරන්න පුරුදු වන්න.

ඇසුරු සැණක් ගහන මොහොතක් හරි මෛත්‍රිය වඩනවා නම්, අනිත්‍ය වඩනවා නම්, ඒ කෙනා ධ්‍යානයෙන් හිස් නැතිවයි වාසය කරන්නෙ කියන සුන්දර කාරණය සිහිපත් කරගෙන, අපි අපේ ධර්මය තුළ හැසිරෙන්නට පටන් ගනිමු .හැකි පමණ ධර්මයෙහි හැසිරෙමු.නො හැසිරෙන්නන් හැසිරීමට ලං කර ගනිමු.

මේ ඇරයුම් බෞද්ධ සහෝදරත්වයෙන්……

You might also like
en English
X
X