Temples of Sri Lanka

ආශීර්වාදයන් සපත කරවන නවරාත්‍රී දින උත්සවය අද දින සමරනු ලබයි….

හින්දු දින දර්ශනයට අනුකූලව අශ්විනි මාසය එනම් සූර්‍යයා කන්‍යා රාශියේ ගමන් කරන මාසයේ නවරාත්‍රි උත්සවය පවත්වනු ලබන බව විශ්වාසයයි.

එහිදී රාත්‍රි නවයක් පුරා දුර්ගා මෑණියන්ගේ නව ස්වරූපයන්ට පුජා සත්කාර කරනු ලබන අතර දුර්ගා දෙවඟන යනු ශක්තියේ ප්‍රතිරූපයක් සේ ගැනේ.

මෙම උත්සවය ඉන්දියාවේ සෑම තැනකම විවිධාකාර ලෙස උත්සවශ්‍රීයෙන් පවත්වන අතර බටහිර ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ සහ මුම්බායිහිදී අතිවිශිෂ්ට ලෙස ඒ සඳහා වන සැමරුම් දැකිය හැකිය .

සාම්ප්රදායික නර්තනාංග, වර්ණවත් ඇඳුම් වලින් සැරසූ නර්තන ශිල්පීන් සමඟ සුන්දර සේ දිසෙන අවස්ථා දෘශ්‍යමාන වේ.

සමහර නර්තනාංගයන් සම්ප්‍රදායික රසය රඳවා ගෙන ඉදිරිපත් කිරීම් සිදු කරයි. නවරාත්‍රී සැමරුම් ඉතා මූර්තිමත්ය .

දෙවියන් පිදීම,සශ්‍රීකත්වය හා සෞභාග්‍ය ප්‍රාර්තනා කිරීම,අධ්‍යාපන කටයුතු සඳහා නවමු ආරම්භයක් ලබා ගැනීම යන පරමාර්ථ මුදුන් පමුනුවා ගැනීම උදෙසා අස්වනු නෙලන කාලයේ පවත්වනු ලබන මෙම උත්සව අවස්ථාවේදී දෙවියන් උදෙසා පවත්වන “තේවාරම්” හා විවිධ නර්තන සම්ප්‍රදායයන් මගින් රාත්‍රී නවයක් පුරාවට පැවතීම සිදු වීම සම්ප්‍රාදායික සිදු වීමයි.

දුර්ගා දේවිය, ලක්ෂ්මී දේවිය හා සරස්වතී දේවිය ප්‍රධාන කොටගෙන දින 03 බැගින් දින 09ක් පවත්වන මෙම සුවිශේශී පූජාවලියේ , මෙම දින 09න් පසුව 10 වන දිනය ලෙස ‘විජයදසමි’ නම් තවත් දිනයක් දක්නට ලැබේ.

මෙහි මුල් දින තුන කාලි මෑණියන් වෙනුවෙන් පූජා පවත්වමින් බලය වෙනුවෙන් අයැදීම සිදුවෙනවා.

තමන් විසින් අවුරුද්දේ කරන්නට යොදාගෙන ඇති කාර්යයන් සිහි කරමින් ඒ ඒ දවල් සඳහා ශක්තිය හා ධෛර්යය ලබා දෙන මෙන් දෙවියන්ට කන්නලව් කිරීම මෙහිදී සුවිශේශී ලෙස සිදුකරනවා.

ඊලඟ දින තුන වෙන්වන්නේ සැපත හා සම්පත වෙනුවෙන්. ඒ ලක්‍ෂමී දෙවියන් වෙනුවෙන්. එහිදී පූජා පවත්වමින් සැපත හා සම්පත වෙනුවෙන් අයදින අතර, තම දරුවන්ගේ රෝග තත්වයන් පීඩා හා තමන්ගේ නැති බැරිකම් දෙවියන්ට ඉදිරිපත් කරමින් කන්නලව් කරමින් ආශීර්වාද ලබා ගැනීමද සිදුවෙනවා.

අවසාන දින තුන වෙන්වන්නේ අධ්‍යාපනය වෙනුවෙන්. ඒ සරස්වතී දේවිය සිහිකර ගුණ වර්ණනා කරමින් පූජා පැවැත්වීමටයි. එසේ කරමින් අයදින්නේ දැනුම වර්ධනය කරදෙන ලෙස හා දරුවන්ට අධ්‍යාපන ශක්තීන් ලබා දෙන ලසටයි.

මස් මාංශවලින් තොරව ඉතාමත් ආගමානුකූල අයුරින් මෙම දින නවය ගත කිරීමෙන් දුර්ගා දේවියගේ ආශිර්වාදය සහ පිහිට ලබාගැනීම, මෙම උත්සවය පැවැත්වීමෙන් අපේක්ෂා කරයි.

ජීවිතයේ සෑම පැත්තකින්ම සාර්ථක වීම උදෙසා සියලු ආශීර්වාදයන් මෙසේ නවරාත්‍රී උත්සවාකාරයෙන් සැමරීම සිදුවේ.

You might also like
en English
X
X