Temples of Sri Lanka

මහා සොන්ඛාපා පරිනිර්වාණයේ 601 වන උත්කර්ෂවත් සංවත්සරය අදයි…

TODAY IS THE 601ST PARINIRVANA ANNIVERSARY OF GREAT LAMA TSONGKHAPA

වර්ෂ 1357 දී නැගෙනහිර ටිබෙටයේ සොන්ඛා ප්‍රදේශයට අයත් හිමෙන් වැසුණු දේශයේ, බෞද්ධ පිළිවෙතට පෙළගැසුනු ටිබෙට් බොදු ගෙලුග් සම්ප්‍රදායේ, නිර්මාතෘ වන මහා සොන්ඛාපා ලොබ්සාන් ඩ්‍රක්පා හිමියන්ගේ පරිනිර්වාණයේ 601 වන උත්කර්ෂවත් සංවත්සරය අදයි.

සොන්ඛාපා හිමියන් නාලන්දා සම්ප්‍රදාය සමෘද්ධිමත් කළ යෝගීවරයා ය. උන්වහන්සේ ටිබෙට් බුදු දහමේ ශ්‍රේෂ්ඨතම විද්වතුන් සහ යෝගීන්ගෙන් කෙනෙකි.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල සොන්ඛාපා හිමියන් ගේ දීප්තිමත් වූ ආලෝකය, ලොවපුරා ටිබෙට් බෞද්ධයින්ට අද දක්වාම මගපෙන්වන දහම් මඟක් බවට පත්ව ඇත. ඓතිහාසික කතා වස්තුව දෙස මදක් විවර ව බැලූ කල, බුදුන් දවස දක්වාම දිව යන අපූරුව විදහා පෙනෙයි.

සොන්ඛාපා හිමියන් ඔහුගේ පෙර භවයක බුදුන් වහන්සේට පළිගු මාණික්‍ය වලින් තැනූ නවගුණ වැලක් පූජා කළ අතර, ඒ වෙනුවට ඔහුට හක්ගෙඩියක් ත්‍යාග වශයෙන් ලැබුණි. බුදු රජාණන් වහන්සේ ආනන්ද හිමියන් තමා වෙත කැඳවා මෙම දරුවා හිම දේශයේ උපත ලබන බවත්, ඔහු මහා ආරාමයක නිර්මාතෘ වනු ඇති බවත්, ලාසාහි මහා බුද්ධ ප්‍රතිමා වහන්සේට කිරුළ පළදවන බවත්, පිරිසිදු බුදු දහම ඉදිරියට ගෙනයන බවත් පුරෝකථනය කළ සේක. බුදුරජාණන් වහන්සේ විසින් ඔහුට අව්‍යාජ ධර්මයේ හස්තය නොහොත් “සුමති කීර්ති” යන අනාගත නාමය ලබා දුන් සේක. එය ටිබෙට් බසින් ලොසාන්ග් ඩ්‍රක්පා නම් විය.

බුදුරජාණන් වහන්සේ පුරෝකතනය කළ ආකාරයෙන්ම මේ සියල්ල ඒ ආකාරයෙන්ම සිදු විය.

බුදුන් වහන්සේ විසින් මේ දරුවාට ලබාදුන් හක් ගෙඩිය “ගන්දෙන්” ආරාමය ඉදි කිරීමේ දී සොයා ගන්නා ලද අතර 1959 වන තෙක් ටිබේටයේ ඩ්‍රෙපුන්ග් හි ආරාමයේ දක්නට ලැබුනි. කිරුළ තවමත් ලාසාහි බුදුන්ගේ හිස මත රැඳී ඇත. ගුරු පද්මසම්භව හිමියන් ගේ අනාවැකියක් අනුව සොන්ඛාපා හිමි ශ්‍රේෂ්ඨතම කීර්තිමත් බෝධිසත්ත්වයෙක් ලෙස සලකනු ලබන අතර ම නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමේ අපේක්ෂා මුදුන් පමුණුවා ගනු ඇත ලෙස ලෙස සපත කොට ඇත.

ඔහු ලැම්රිම් කෙමෝ- බුද්ධත්වයට මාවත පිළිබඳ මහා නිබන්ධනය සහ වෙනත් ගැඹුරු ග්‍රන්ථවල කතුවරයා ය.

සොන්ඛාපා හිමි උපත ලැබුවේ දරුවන් හය දෙනෙකුගෙන් යුත් ගොවි පවුලක සිව්වැන්නා ලෙසයි. වයස අවුරුදු තුනේදී සිව්වන කර්මපාගෙන් ගිහි අවසරයක් ලබා ගත්තේය. වයස අවුරුදු හත වන විට ඔහුගේ ගුරුවරයා වන චෝජේ ඩොන්ඩ්‍රප් රින්චෙන් ගෙන් සාමනේර අවසරයක් ලැබුණි. වයස අවුරුදු දාසයේ දී ඔහු මධ්‍යම ටිබෙටයට ගියේ ය. ටිබෙට් බුදු දහමේ නීග්මා, කග්‍යු හා ශාක්‍ය වැනි සියලු සම්ප්‍රදායන්හි ශ්‍රේෂ්ඨතම ගුරුවරුන් යටතේ උන්වහන්සේ අධ්‍යාපනය ලැබීය. වයස අවුරුදු දහ නවය වන විට ටිබෙටයේ වඩාත්ම කීර්තිමත් බුද්ධ ධර්ම විශාරදයා බවට පත්වීමට ද එය පිටුවහලක් වූ අතර උන් වහන්සේගෙන් ධර්මය ඉගෙනුමට ලොව නන් දෙසින් ධර්ම ගවේෂකයින් පැමිණියහ.

මෙම සම්ප්‍රදාය ටිබෙටයේ හිමාල කලාපය, මොංගෝලියානු කලාපයේ සමස්ත අසල්වාසී රටවල් පුරා ලැව් ගින්නක් මෙන් ප්‍රසිද්ධියට පත්වන්නට විය. උන් වහන්සේ සූත්‍ර, තන්ත්‍ර සහ විනය පිළිබඳ හොඳම විවරණ වෙළුම් දහ අටකින් ලියා පළකොට ඇත්තාහ. දිදුළන හිරු මෙන් නාලන්දා සම්ප්‍රදාය සත්‍යාපනය කිරීම සඳහා සොන්ඛාපා හිමියන් ටිබෙටයේ බෞද්ධ පිළිවෙත් එකලස් කිරීමට සමත්වූහ. එමෙන්ම ටිබෙටයේ දැවැන්ත බෞද්ධායතන ආරම්හ කිරීමට ද සමත් විය. 1416 දී ඩ්‍රෙපුන්ග් මහා පිරිවෙන, 1419 සෙරා මහා පිරිවෙන, 1433 ග්‍යුමේ මහා පිරිවෙන, 1447 ටාශි ලුන්පෝ මහා පිරිවෙන, 1475 ග්‍යුටෝ මහා පිරිවෙන ආරම්හ කරන ලදී.

අදත් මෙම ආයතන ඉන්දියාවේ සිට දැවැන්ත ධර්ම මෙහෙවරක යෙදෙන්නේ ටිබෙටය 1959 පූර්ණ වශයෙන් චීන කොමියුනිස්ට් හමුදාවට යටත් වූ නිසාය. දස දහස් ගනනින් බෞද්ධ භික්ෂූන් වහන්සේ අදත් ඉන්දියාවේ මෙම මහා පිරිවෙන් වෙල අධ්‍යාපනය හදාර ලොව පුරා ධර්ම ප්‍රචාරයට වසරක් පාසා මුදා හැරෙන්නේ එදා බුදුන් වහන්සේ සිය භික්ෂූන් වහන්සේට දුන් අනුශාසනාවට අනුකූලව ය.

‘චරත භික්ඛවේ චාරිතා බහුජන හිතාය බහුජන සුඛාය’

සොන්ඛාපා හිමියන් ගේ හයසිය එක් වන සංවත්සරය යෙදෙන අද දිනයේ ටිබෙට් බෞද්ධයින් එය අති උත්කර්ෂවත් ලෙස ආමිස හා ප්‍රතිපත්ති පූජා වලින් යුක්තව සමරති.

10.12.2020

© Buddhist Brotherhood

You might also like
en English
X
X