Temples of Sri Lanka

නොවැම්බරයේ සැමරෙන ඉල් මහ පෝය

දහම් ආලෝකයෙන් ඒකාලෝක වූ පින් බර ඉල් පෝ දිනක් වේවා...

සූර්යයා වෘශ්චික රාශියේ ගමන් කරමින් සිටින මාසය ඉල් මාසය බව ජ්‍යෝතිෂ මතයයි.
දහමට ලැදි ජනයාට ඉල් මාසය ඉතා වැදගත් මාසයක් බවට පත්වෙයි. බුද්ධ ධර්මය ගම් නියම් ගම්, රට රාජ්‍ය කරා පතුරුවා හැරීමේ ධර්ම ප්‍රචාරක මහා සේවාව ආරම්භ වූයේ මෙවන් වූ ඉල් මාසයක සිටයි.

 

බුදුදහම වර්ථමාන ලෝකය පුරා පැතිරී ගොස් ඇති අයුරු බලන විට බුද්ධිමත් නුවණැති ජනයාට ඉල් මාසය ඉතා වැදගත් මාසයක් බව හැඟේ. ඒ සමස්ථ මිනිසාගේ නුවණ අවදි කිරීමේ වැඩ පිළිවෙල බුදුන් දවස ආරම්භ කළ මාසය ලෙස සඳහන් කළ හැකිය. මෙම මාසය අධික සීතලක් සහ අධික වර්ෂාවක් ඇති මාසයක් ලෙස පැරැන්නෝ සැලකූවේ බොහෝවිට වැස්ස නිසා වැව් පොකුණු ඇළ දොළ පිටාර ගැලීමද සිදුවිය .

 

 *ඉල්පොහොය වැදගත්කම* 

 

බෞද්ධ ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයන් 60 නම බොහෝ දෙනාගේ හිත සුව පිණිස සද්ධර්ම චාරිකාවේ යෙදුණේ  අද වන් වූ ඉල් පොහෝ දිනකයි.

 

ඒ ප්‍රථම ධර්ම දූත පිරිස වූයේ භද්දිය රහතන් වහන්සේ, මහානාම රහතන් වහන්සේ, අස්සජි රහතන් වහන්සේ, අඤ්ඤාකොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ යන පස්වග මහණුන් වහන්සේලා සමඟ යසකුල පුත්‍රයා වූ යස රහතන් වහන්සේ හා උන්වහන්සේගේ මිතුරන් පනස් හතර දෙනා වහන්සේලාත් ය.

 

මේ හැට දෙනා වහන්සේ ධර්ම දූත සේවාවට යොමු කළ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරමින් සිටි සේක.
එවිට භද්දවග්ගිය කුමාරවරු මුණගැසී ඔවුන්ට ද ධර්මය දේශනා කොට නිවන් මඟ පහදා දුන් සේක.

 

තවද බෞද්ධ ඉතිහාසය හා සම්බන්ධ පොහොයෙහි වැදගත් සන්ධිස්ථාන මෙසේ  සඳහන් කළ හැකිය

 

මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම හෙවත් තුන්ලෝකාග්‍ර වූ මහා ප්‍රඥාවන්ත වූ බුදුරජාණන් කෙනෙක් පාරමිතා පුරමින් අනාගත බුදුවරයෙකු වීමට පින් පුරන්නා වූ උතුම් මිනිසකුට හෙවත් බෝධිසත්ව වරයෙකුට, මතු දිනක ඔබ නියත වශයෙන්ම බුදු වන්නේ යැයි සඳහන් කිරීම හා   බරණැස කේතුමතී නුවර සංඛ රජුගේ අග්‍ර පුරෝහිතයානන් වූ  සුබ්‍රහ්ම සහ ඔහුගේ බිරිඳ බ්‍රහ්මවතී ට අනාගත මෛත්‍රී බුදුන් පුත් තනතුරේ උපදින බව, දිව්‍යඥානයෙන් බලා වදාරන ලදී. එමෙන්ම නුග ගසක් යට මෛත්‍රී බුදුන් බුද්ධත්වය ලබන බවට ද  අද වන් වූ   උතුම් ඉල් පොහෝ දිනක  ප්‍රකාශයට පත් වීමද සිදු වූ වැදගත් සිදුවීම්‍ වේ.

 

බුදුන් වහන්සේ තුන්බෑ ජටිල දමනය ට යාම ද අදවන් වූ උතුම් ඉල් පොහෝ දිනක සිදු වූ බව සඳහන්ය

 

සැරියුත් රහතන් වහන්සේගේ  පිරිනිවන් පෑමත් අද වන් උතුම් පොහෝ දිනක සිදු වූ බවද සඳහන්‍ වේ.

 

පසු වස් පවාරණය කරන අන්තිම පොහොය අදට යෙදීමත්  ඉතා වැදගත් සිදුවීමකි.

 

කඨින චීවර පූජාව කළ හැකි අවසාන පොහොය වීම ද අද වන් වූ දවසකට යෙදී තිබූ බව කියැවේ.

 

මෙවැනි වැදගත් සිදුවීම් හා බැඳුණු ඉල් පොහොය බෞද්ධ ජනයාට මෙන්ම ප්‍රඥාව අවදි කරගන්නට උත්සාහ ගන්නා නුවණැති ජනයාට කදිම දිනයක් බව සදහන් කරමි.

 

ප්‍රඥා මහිමයෙන් සිත් සතන් පුබුදුවාලන බොදු බැති සුවඳ ඉල්මහේ පොහෝ දිනයෙන් සුවඳවත් වන උතුම් පොහෝ දිනක් වන්නට සහෝදරත්වයෙන් පෙරමග කරා යන ගමනේ ඔබ වෙත ගෙන එන ප්‍රාර්ථනා…

© Buddhist Brotherhood

නොවැම්බර් 29 2020
You might also like
en English
X
X