Temples of Sri Lanka

දලයි ලාමා හිමියන්ගේ 85 වැනි ජන්ම දිනය ශ්‍රී ලංකාවේදී සැමරේ..

ටිබෙටයේ අධ්‍යාත්මික නායක ට්යෙන්සින් ග්යත්සෝ 14 වන දලයි ලාමා හිමියන්ගේ 85 වැනි ජන්ම දිනය පසුගිය ජූලි 06 වැනිදාට යෙදී තිබුණා. ඒ නිමිත්තෙන් ලොව පුරා සැමරුම් උත්සව පැවැත්වුණ අතර ශ්‍රී ලංකාවේ මෙම උත්සවය පැවැත්වුණේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ මහා පිරිවෙන පරිශ්‍රයේදීයි.

     

 

“Dalai Lama ප්‍රණාම -2020” ලෙස නම් කර තිබූ මෙම උපන්දින සැමරුම ශ්‍රී ලංකා – ටිබෙට් බෞද්ධ සහෝදරත්ව සංගමය , ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනම හා ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ මහ පිරිවෙන එක්ව සංවිධාන කර තිබුණා. මේ සඳහා ලංකාවේ තරුණ කලාකරුවන්ගේ පදනමේ කලාකරුවන්ද එක්ව සිටියා.

එදින පස්රුවේ මරණයට කැප වූ කිරි ගවයන් හත් දෙනෙක් නිදහස් කිරීමේ අභයදාන පිංකමක් පැවැත් වුණ අතර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් හතකට එම ගවයන් භාර දීම ද දක්ෂිණ ලංකාවේ අධිකරණ සංඝනායක, ශ්‍රී බෝධිරාජ මහ පිරිවෙනේ නිර්මාතෘ පූජ්‍ය ආචාර්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

             

ඉන් අනතුරුව උත්සවාකාරයෙන් ඇරඹි දලයි ලාමා හිමියන්ගේ 85වැනි ජන්ම දින උත්සවය උන්වහන්සේ ගේ ආගමික දර්ශනය, අවිහිංසාව හා ලෝක සාමය උදා කරලීම සඳහා දක්වන දායකත්වය යන කරුණු කාරණා පෙරදැරි කර ගනිමින් ඇරඹුණා. මෙහිදී දලයි ලාමා හිමියන්ගේ ජීවිතය හා වත්මන් දේශපාලන බාධක ඇතුළු උන්වහන්සේ පිළිබඳ අදහස් පළ කිරීම් සිදු කෙරුණා.

මේ අවස්ථාවට පැමිණි දක්ෂිණ ලංකාවේ අධිකරණ සංඝනායක, ශ්‍රී බෝධිරාජ මහ පිරිවෙනේ නිර්මාතෘ පූජ්‍ය ආචාර්‍ය ඕමල්පේ සෝභිත නාහිමි, ග්‍රන්ථ කතුවර ගුරුගොඩ සිරිවිමල හිමි, ශ්‍රී බෝධිරාජ මහ පිරිවෙනේ කතරගම පියදස්සී හිමි, තරුණ කලාකරුවන්ගේ පදනමේ ලේකම් ආකාශ් තාරුක පෙරේරා, සහ ටිබෙට් ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව සමාජයේ හා බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති, අන්තර්ජාතික බෞද්ධ සංසදයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්‍ය දමෙන්ද පෝරගේ මහතා ද අදහස් පල කළා.

         

              

ඉන් අනතුරුව ශ්‍රී ලාංකේය බෞද්ධ සම්ප්‍රදාය අනුව යමින් කිරිබත් කපමින් පිරිත් සජ්ජායනය කරමින් දලයි ලාමා හිමියන්ට පරමායුෂ ප්‍රාර්ථනා කිරීම සිදු කෙරුණා. ටිබෙට් ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව සමාජයේ හා බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති, අන්තර්ජාතික බෞද්ධ සංසදයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්‍ය දමෙන්ද පෝරගේ මහතා විසින් මහා සඟරුවනේ පිරිත් සජ්ජායනය මධ්‍යයේ කිරිබත් කැපීම සිදු කළා.

                                                                                        

තරුණ කලාකරුවන්ගේ පදනමේ සාමාජිකා ජනප්‍රිය ගායන ශිල්පිනි කල්පනා කාවින්දි සහ එම පදනමේ සභාපති සම්මානනීය රංගන ශිල්පී දෙව්නක පෝරගේ විසින් ගයන ලද ” ලාමා දලයි ලාමා” ගීතය නිකුත් කෙරුණා. එය දලයි ලාමා හිමියන් ගේ උපන්දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ලෝකයට දායාද වූ එකම ගීතය වීම විශේෂත්වයක්.

                   

පරිසරය සම්බන්ධයෙන් දලයි ලාමා හිමියන් තුළ පවතින දැඩි ආදරය සංකේතවත් කරමින් ප්‍රදේශවාසීන් 85 දෙනෙකුට ඖෂධීය පැළ 85ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වුණා.

                 

ටිබෙටයේ අධ්‍යාත්මික නායක 14වන ට්යෙන්සින් ග්යත්සෝ දලයි ලාමා හිමියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය පතා එදින පස්වරුවේ මහා සංඝයා වහන්සේලා අසූ පස් නමකගේ දායකත්වයෙන් මහා ආශිර්වාද පූජාවක් ද පැවැත්වුණා. 

          

     

 

You might also like
en English
X
X