Temples of Sri Lanka

දැවෙන සිතට දම් අමා මී පැන් පොදක් …………..

“සතිපට්ඨාන”
ශාස්ත්‍රීය බෞද්ධ සඟරාව දොරට වැඩි වගයි ……….

දැවෙන සිතට දම් අමා මී පැන් පොදක් ගෙන එනු රිසින්, එළිදැක්වුණු “සතිපට්ඨාන” සඟරාවේ මංගල කලාපය පසුගිය දා මල්වතු මහා විහාරයේ අනුනායක, අතිපූජනීය දිඹුල්කුඹුරේ විජිධම්ම හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහි ඓතිහාසික වූ සෙංකඩගල පුරවරයේ, මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී “සතිපට්ඨාන” සඟරාවේ සම කර්තෘ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් පිළිගැන්වීම සිදු කරන ලදී.

බෞද්ධ දර්ශනය තුළ වූ විද්‍යාගෝචර පැතිකඩ හුවා දක්වමින්, බාල මහලු වැඩිහිටි සහ විශේෂයෙන් පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වටිනා වූ බෞද්ධ සම්ප්‍රදායක් ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙන්ම, නිවැරදි බෞද්ධ දර්ශනය ඉහළටම ගෙන එමින් සුපේෂල බෞද්ධ කතිකාවක් ගොඩනැංවිම හා ආදර්ශවත් සිසු පරපුරක් අනාගතයට දායාද කිරීම මෙම සඟරාවේ ප්‍රධාන අරමුණ වන අතර මිත්‍යාව සහ සත්‍ය අතර පැහැදිලි වෙනස හඳුනාගනිමින් ජනතාවට උපකාර කිරීමත්, විද්‍යාත්මක වූ සාහිත්‍ය සංවාද ඇති කිරීමත්, සාර්ථක ප්‍රගමනයක් කරා ගමන් කිරීමට අවශ්‍ය දැනුම ජනගත කිරීමත් යනාදිය මෙම සඟරාව තුළින් හුදෙක්ම අපේක්ෂා කෙරේ.

අනාගත පරපුරෙහි ශක්තිමත් වන්නා වූ බෞද්ධ දර්ශනවාදී සමාජයක් බිහිකිරීමට අවශ්‍ය වන පුළුල් වූ දැනුම, පෝෂණය කිරීම මතින් ධාර්මික හෙටක අරුණලු “සතිපට්ඨාන” සඟරාව මතින් දෘශ්‍යමාන කිරීම සහ එය සමාජයට දායාද කිරීම “සතිපට්ඨාන” නිමැවුමේ ප්‍රධාන අරමුණයි.

සරල සුගම බස් වහරෙන් බෞද්ධ අදහස් ඔබ වෙත ගෙන එමින්, දහම් පාසල් දරු දැරියන්ගේ දස්කම් විස්කම් හා නිර්මාණයන් ද, කාලෝචිත වූ දහම් දෙසුම් මෙන්ම මනෝ විද්‍යාව සහ බුදුදහම පිළිබඳ අර්ථකථන ගිහි සහ පැවිදි සෑම දෙනා වෙතම තිලිණ කරන්නා වූ සුවිශේෂ දහම් දැනුම, ලාංකේය බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම සහ බෞද්ධ දර්ශනය තුළින් වූ සහජීවනය යාවත්කාලීන කිරීම වැනි බොහෝ මාතෘකාවන් ආවරණය කරමින් සඟරාව ඔස්සේ පාඨක ඔබ වෙත කරුණු දක්වමින් සමාජ සුබසාධන මෙහෙවරකට මුල පිරීමට “සතිපට්ඨාන” තුළින් අප සූදානම මෙසේ දැනුම්දෙමු.

“සතිපට්ඨාන” Youtube නාලිකාව සහ
Facebook පිටුව ඔස්සේ ද අප හා සම්බන්ධ වීමේ හැකියාව ඔබ වෙත සලස්වාලමින් නව තාක්ෂණික ක්‍රම ඔස්සේ ද සදහම් මග තුළ නිවැරදි ලෙස ගමන් කිරීමට අප ඔබට සහය වන්නෙමු.

ශ්‍රී බුද්ධ වර්ෂ 2565 සහ සම්බුද්ධත්ව ජයන්තිය 2610 වසර යෙදී ඇති මෙම උතුම් වෙසක් පොහොය අරමුණු කරමින් එළිදැක්වුණු “සතිපට්ඨාන” බෞද්ධ සඟරාව ත්‍රෛමාසිකව ඔබ වෙත දායාද වන සදහම් විග්‍රහයක් සහිත පුණ්‍ය තිළිණයකි.

බොදු ජන සමාජය තුළ දැවෙන, තැවෙන උද්වේගකර ගැටළු උදෙසා නොදැවෙන, නොතැවෙන සහනශීලී විසඳුම් ලබා දෙනු වස් “සතිපට්ඨාන” නම් වූ ශාස්ත්‍රීය බෞද්ධ සඟරාව ශ්‍රී ලංකා වාසි සමස්ත ප්‍රජාව උදෙසා ධර්ම ප්‍රදීපයක් මෙන්ම දැවුනු සිත් සනහා ලන දම් අමා මී පැන් පොදක් වේවා !

You might also like
en English
X
X