Temples of Sri Lanka

අනුසස් දැන දාන පාරමිතාව වඩමු

අපි දානය සම්බන්ධයෙන් ගත්තොත් සමහරවිට අපි අසරණ මනුෂ්‍යයෙකුට දීමේදී එච්චරටම කල්පනා කරන්නේ නෑ.

නමුත් දීම කියන්නේ කල්පනා කරලා දිය යුතු දෙයක්. කුඩා ළමයෙකුට දුන්නත්, මහලු කෙනෙකුට දුන්නත්, හිඟන්නෙකුට දුන්නත්, ගෙදර වැඩ කරන කෙනෙකුට දුන්නත්, ඒ දෙන දේ හොඳම දෙයක් වෙන්නට ඕනේ .

බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවේ තියෙනවා උන් වහන්සේ දේශනා කරලා තියනවා මහණෙනි කපිලවස්තු නගරයේ ඊට ආසන්න වෙනත් මාලිගාවල සේවකයින්ට ගාඩි හොදියි බතුයි දෙද්දී අපේ මාලිගාවේ සේවකයින්ටත් ඇල් හාලේ බතුයි මසුයි දුන්නා කියලා.

එතකොට අපට තේරෙනවා එහෙම නම් සුද්ධෝදන රජු පවා මිනිස්සුන්ට හොඳට සලකපු කෙනෙක්. අපට දක්නට ලැබුණත් නැතත්, සමහර තැන්වල ගෙදර අයට වෙනම උයනව වැඩ කර ළමයින්ට වෙනම උයනව. මේක හරි නරක දෙයක්. ඒ ගොල්ලන්ටත් සංසාර ලැබෙන්නේ ඒ විදිහටම තමයි. මොකද අපි මේ මනුෂ්‍ය ලෝකයට තාවකාලිකව ආපු අය. එතකොට මේ මනුෂ්‍ය ලෝකයේ අපට කන්න බොන්න ලැබෙනවා සංසාර කරපු දේවල් වල සෑහෙන බලපෑමක් එකතු වෙලා තියෙනවා ඒ බලපෑමෙන් තමයි අපේ ජීවිත පවත්වාගෙන යන්නේ මේ බව අමතක කිරීම නුසුදුසු කරුණක් .

අපි සංසාරයේ කරපු දේවල් මේ ජීවිතයේදී එක එක විදිහට භුක්ති විදිනවා. ඒ වගේම අපි මේ ජීවිතයේ කරන දේ අරගෙන යන්න ඕන. ඉතින් ඒකයි අපි මේ ජීවිතයේදී හරියට දන් දෙන්න ඕන කියල කීවේ. ඒ කියන්නේ මේ ජීවිතයේදී අපි දානය වුණත් දෙනකොට හරි විදිහට දෙන්නයි කල්පනා කළ යුත්තේ .

දන් දීම සම්බන්ධයෙන් සමහර අය තුළ මිථ්‍යා අදහස් පවතිනවා. එකක් තමයි ලුණු ඇඹුල් බලන්න හොද නෑ කියන එක. ඒක වැරදි මතයක්. ලුණු ඇඹුල් බලන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රණීත දෙයක් දෙන්න කියලා නේ. ඉතින් ප්‍රණීත දෙයක් දෙන්න නම් ප්‍රණීතයි ද නැද්ද කියල බලන්න ඕනි. නැත්නම් දෙයක් දෙන්නෙ කොහොමද..? බුද්ධ දේශනාවේ සත්පුරුෂ දානයක් දෙන ආකාරය කරුණු පහකින් විස්තර කරලා තියෙනවා. ඒ තමයි….

1. සක්කච්ච දේති (සකස් කොට දන් දීම )

2. සහත්තා දේති (තමන්ගේ අතින්ම දන්දීම )

3. චිත්තී කත්වා දේති (හොඳ නුවණින් සලකා දන් දීම )

4. අන්න පවිද්ධං දේතී (විසි නොකරන දෙයක් දන්දීම)

5. ආගමන දිට්ඨිකෝ දේතී (මම මේ දෙන දේ මට ලැබෙනවා කියා සිතා දීම)

මේ තමයි සත්පුරුෂ දානයක ලක්ෂණ .

දානයක් පූජා කිරීමේ දී විශේෂයෙන්ම පුද්ගලිකව දෙනවට වඩා සංඝරත්නය උදෙසා පූජා කිරීම මහත්ඵලයි. සමහර අවස්ථාවලදී සමහර අය “අනේ ඔබ වහන්සේට දානය ටිකක් දෙන්න ඕන” කියලා පුද්ගලිකව දානයක් දෙන්න උත්සාහ කරනවා . එවැනි අවස්ථාවලදී කවදාවත් එහෙම කරන්න එපා. පුද්ගලයෙක් තෝරන්න එපා. දීමේදි සංඝයා උදෙසා දෙන්න කියලයි… ස්වාමීන් වහන්සේලා එක නමක් වෙන්න පුළුවන් දෙනමක් වෙන්න පුළුවන් තුන් නමක් වෙන්න පුළුවන් අප කළ යුත්තේ සංඝයා උදෙසා පූජා කිරීමයි .

අපි හැමතිස්සෙම පිළිගන්න එකක් නේද යම්කිසි හොඳ කර්මයක් කළොත් හොඳ විපාක ලැබෙන බව. නරක කර්මයක් කළොත් නරක විපාක ලැබෙන බව .අනිත් කාරණය තමයි අපි බැන්නා කියලා ඒ බැනීම හේතුවෙන් හැදුණු කෙනෙක් නෑ .ගැරහුවා කියලා ඒ ගැරහීම හේතුවෙන් හැදුණු කෙනෙක් නෑ .නින්දා කළා කියලා නින්දා කිරීම හේතුවෙන් හැදුණු කෙනෙක් නෑ .එහෙම නම් අද නින්දා කරන බනින අපහාස කරන හැටියට ඔක්කොම ඉක්මනටම හැදෙන්න ඕනෙ. එහෙම වෙන්නේ නෑ නමුත් “එයා කරන කර්මය එයා ගෙනියයි “කියන මතයේ ඉඳලා නිශ්ශබ්ද ව වාසය කළොත් අපිට අකුසල් හටගන්නේ නැහැ. නැත්නම් මේ අහක තියෙන දේවල් වලට කතා කරලා හරියට පවුකර ගන්නවා .

පිරිසුදු සිතින් පිරිසිදු දේ හොඳම දේ හොඳම ලෙස දාන කිරීම මිනිසත් අපගේ ප්‍රධාන වගකීමක්. දෙනවානම් දෙන දේ සතුටු සිතෙන් සතුටු ආකාරයෙන් ලබන්නා තුළ සතුටක් දනවන ආකාරයෙන් ලබා දීම මිනිසත් කමේ ගුණයක්.අපිට වත් පරිහරණයට ගත නොහැකි දෙයක් කෙනෙක් වෙනුවෙන් දීම සඳහා ඉදිරිපත් කිරීම නොවටිනා දෙයක්.මේ නිසා දීම පිළිබඳව දීමේ ආදීනව පිළිබඳව කරුණු විශ්ලේෂණය කරන උතුම් මිනිස්සු මේ දීම පැහැදිලි සිතින් පැහැදිලි ලෙස ඉටුකිරීමට බැඳෙයි.

දීමේදී …පිරිසිදු සිතින්, පිරිසිදු දේ පිරිසිදු ආකාරයට පිරිසිදු චේතනාවෙන් ලබාදීම තුළින් ලබන්නාගේ සිතත් ඔබේ සිතත් පිරිපුන් භාවයෙන් සපිරෙයි ..ඒ පින් මහිමය ම ඔබගේ ජීවිතය පින පුරවා ජීවත් කරවනු ඇත .එබැවින් විසික් නොකරන දෙයක් දන් දීමට ඔබ ඉටා ගන්න.

මේ බෞද්ධ සහෝදරත්වයෙන් පණිවිඩයක් ….

You might also like
en English
X
X