Temples of Sri Lanka

ආනන්දනීය මිනිසෙකුට දිවිහිමියෙන් උවටැන් කළ ආනන්ද මහ රහතන් වහන්සේ

ආනන්ද හිමියන් රහත් වුණේ අද වැනි නිකිණි පොහෝ දිනෙකයි

ගෞතම බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා අතර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් වහන්සේට හිමි වන්නේ අතිශය සුවිශේෂ ස්ථානයක්.

උන්වහන්සේ මේ සංසාර ගමනේ බෝ ආත්ම භවයන්හි බෝසතාණන් වහන්සේ සමඟ එකටම ජීවත් වෙන්න භාග්‍යවත් වුණා. ඇතැම් විට මිත්‍රයන් ලෙස, තවත් විටෙක සහෝදරයන් ලෙස, තවත් ආත්ම භවයක ගුරුවරයා හා ශිෂ්‍යයා ලෙස උපත ලබනවා. මේ නිසාම ආනන්ද කුමාරයා ද සුද්ධෝදන රජුගේ සහෝදරයෙකු වන අමිතෝදන රජුගේ පුත්‍රයා ලෙස සිද්ධාර්ථ කුමරු උපන් දිනයේම උපත ලබනවා. . මේ අනුව බුදුරජාණන් වහන්සේගේ එකම සම වයස් තෙරුන් වහන්සේ නම විදියට ආනන්ද හිමියන්ව හඳුන්වන්න පුළුවන්.

ලේ නෑයෙකු විදියට උපත ලැබීම නිසාම බුදුරදුන් කෙරෙහි විශේෂ අවධානයක්, සැළකිල්ලක් හා ගරුත්වයක් ආනන්ද හිමියන්ට තිබුණා .

බුදු රජාණන් වහන්සේගෙන් අග්‍ර තනතුරු 5ක් ලද එකම ස්වාමින් වහන්සේ ද ආනන්ද මහ රහතන් වහන්සේයි.

“ඒතදග්ග, භික්ඛවේ මම සාවකානං භික්ඛුනං බහුස්සුතානං යදිදං ආනන්දෝ, සතිමත්තානං යදිදං ආනන්දෝ ගතිමත්තානං යදිදං ආනන්දෝ, ධිතිමත්තානං යදිදං ආනන්දෝ උපට්ඨාකානං යදිදං ආනන්දෝ…”

“මහණෙනි, මගේ ශ්‍රාවක බහුශ්‍රැත භික්‍ෂූන් අතුරෙන් ආනද තෙර අග්‍ර ය. ස්මෘතිමත් (මනා සිහි ඇති භික්‍ෂූන් අතුරෙන් ආනද තෙර අග්‍ර ය. මහා ඥාන ගති ඇති භික්‍ෂූන් අතුරෙන් ආනද තෙර අග්‍ර ය. ධෘතිමත් (ධෛර්ය සම්පන්න) භික්‍ෂූන් අතුරෙන් ආනද තෙර අග්‍ර ය. උපස්ථායක භික්‍ෂුන් අතුරෙන් ආනද තෙර අග්‍ර ය”.
.

බහුශ්‍රැත භික්ෂූන් අතර අග්‍රලාභී
===========================

මෙයින් අදහස් වන්නේ බොහෝ ඇසූ—පිරූ තැන් ඇති බව යි. බොහෝ දේ අසා දැන ගැනීමෙන් පිරුණු බව යි. ප්‍රධාන වශයෙන් බහුශ්‍රැතයා නම් ධර්මවිනය ගැන දැනීම ඇති උසස් ම ධර්මධරයා යි. බුද්ධ ශ්‍රාවකයන් අතර සාරිපුත්ත—මොග්ගල්ලාන, මහා කාශ්‍යප, අනුරුද්ධ, පුණ්ණ ආදි ශ්‍රාවකයෝ ද බහුශ්‍රැත භික්ෂූන් ලෙස සැළකිය හැකියි. නමුත් ආනන්ද තෙරුන් ම බහුශ්‍රැතයන් අතර ප්‍රධානත්වයෙහි තැබුවේ කුමක් නිසාද?

ආනන්ද හිමියන් බුද්ධ වචනය උගන්නා කල්හි තථාගත ශාසනයෙහි “ධර්ම භාණ්ඩාගාරික පර්ය්‍යාප්තියෙහි” සිට එය ප්‍රගුණ කළ නිසා ආනන්ද හිමියෝ ම බහුශ්‍රැත භික්‍ෂූන් අතර අග්‍ර හිමියන් බවට පත් වුණා.

ආනන්ද හිමියෝ නවාංගශාස්තෘ ශාසනය මනා සේ ප්‍රගුණ කළ හිමිනමක්. “නවාංගශාස්තෘ” යනුවෙන් හැඳින්වෙන්නේ

1. සූත්‍ර.
2. ගෙය්‍ය.
3. වෙය්‍යාකරණ.
4. ගාථා.
5. උදාන.
6. ඉතිවුත්තක.
7. ජාතක.
8. අද්භූත ධර්ම.
9. වේදල්ල.

මේ ‘නවාංග ශාස්තෘ වචනය’ ඉගැනීමේදී ආනන්ද හිමියෝ පාලි ධර්මයෙහි අර්ථ මනාව ඉගෙන ගත්තා. ඒ වගේම නිරුක්තිය (ව්‍යාකරණය) ද අකුරුවල ඇති වෙනත් අර්ථ හා ගැළපීම් ද දැනගත්තා. පරස්පර විරෝධ නොවන ලෙසින් දැන ගත්තා.

ධර්ම පාඨයන්හි මතු අර්ථය හා යට අර්ථය ද, මුල මැද හා කෙළවර ඇති අර්ථ ද ඒ තුන් තැනෙහි අර්ථයන්ගේ ගැළපීම් ද යට අර්ථයාගේ හා මතු අර්ථයාගේ ගැළපීම් ද මනා සේ ප්‍රගුණ කළා. මේ නිසා ආනන්ද හිමියෝ බහුශ්‍රැත භික්‍ෂූන් අතර අග්‍ර තනතුරට පත් වුණා.

ආනන්ද හිමියන්ට බුදුරජාණන් වහන්සේ නොවදාළ ධර්මයක් නැති බව ද සඳහන් වනවා. බුද්ධ භාෂිතයේ එන ඇතැම් සූත්‍ර දේශනා බුදුරදුන් විසින් ආනන්ද හිමියන්ටම දේශනා කළ සූත්‍ර වීම විශේෂත්වයක්.

1. ගිරිමානන්ද සූත්‍ර.
2. මිගසාල සූත්‍ර.
3.සුසීම සූත්‍ර
4. මාලුඞ්ක්‍ය සූත්‍ර
5.අන්‍ධකවිද සූත්‍ර
6. බග්ගවිසාණ සූත්‍ර.
7. මහා නිදාන සූත්‍ර.
8. මහා සුදස්සන සූත්‍ර.
9. පරිනිර්වාණ සූත්‍ර.

ඒ විතරක් නෙවෙයි, ජාතක දේශනා අතර ද ආනන්ද හිමියන්ටම දේශනා කළ ජාතක කතා තිබෙනවා.

1. මහාසාර ජාතක.
2. මහා අශ්වාරෝහක ජාතක
3. නානාච්ඡන්ද ජාතක.
4. මහාසුදස්සන ජාතක.
5. පලාස පුණ්හ ජාතක.

මීට අමතරව සුභ සූත්‍ර, ගොපක මොග්ගල්ලාන සූත්‍ර, නිගණ්ඨ සූත්‍ර ආදි සූත්‍ර දේශනාවෝ ද ථේර ගාථාවෙහි බොහෝ ගාථා ද, ආනන්ද ථේරාපදානය ද ආනන්ද හිමියන් විසින් ම වදාළ ධර්ම දේශනාවන් ලෙස සළකනවා. මෙසේ ධර්ම භාණ්ඩාගාරික පර්ය්‍යාප්තියේ සිට නවාංගශාස්තෘ වචනය උගත් නිසා ද, අර්ථ ව්‍යඤ්ජන මනා සේ ප්‍රගුණ කළ බැවින් ද, බොහෝ දේශනාවන් තමන් වහන්සේ ම වදාළ බැවින් ද ආනන්ද හිමියෝ බහුශ්‍රැතයන් අතර තනතුරට පත් වුණා.

තව ද ආනන්ද හිමියෝ බුදුරදුන්ගෙන් ශ්‍රවණය කළ ධර්මය එපරිද්දෙන් ම පුහුණු කොට ධර්මයෙහි මසුරුකමක් නොමැති ව ඒ ධර්මය සවිස්තර ලෙසින් අන්‍යයන්ට ද ප්‍රගුණ කරවන්නට සමත් වුණා. එසේ ම උගත් ධර්මය හා ප්‍රකාශ කළ ධර්මය ද පුහුණු කළ ධර්මය ද පිළිබඳ ව නැවත නැවත මෙනෙහි කරමින් අර්ථ හා ව්‍යඤ්ජන පද වශයෙන් නැවත නැවත තර්ක කරමින් සිතින් විචාරමින් වැඩිදුරටත් ප්‍රගුණ කළා.

ඒ වගේම ආනන්ද හිමියෝ ධර්මධර, සූත්‍ර ධර, විනයධර මහ තෙරවරුන් සිටිනා ආරාමවලට වැඩම කොට, වස්කාලය ගත කරමින්, උන්වහන්සේලා ඇසුරුකොට, ඒ ධර්ම විනයධර බහුශ්‍රැත තෙරවරුන්ගෙන් තමන් නොදන්නා දෑ විචාරා සැක දුරු කොට තවතවත් දැනීම දියුණු කරගත්තා. මේ නිසා ද බහුශ්‍රැත භික්‍ෂූන් අතර අග්‍රලාභී තෙරුන් වහන්සේ බවට පත් වීමට උන්වහන්සේට හැකි වුණා.
.
.

මනා සිහි ඇති භික්‍ෂූන් අතර අග්‍රලාභී
=============================

තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය නොනැසී අමතක නොවී දරාගැනීමෙහි සමත් ධාරණ ශක්තිය සිහි බුද්ධිය ආනන්ද හිමියන්ට තරම් වෙනත් කිසිදු භික්ෂූන් වහන්සේ නමකට තිබුණේ නැහැ. උන්වහන්සේට අසීමාන්තික මතක ශක්තියක් පැවතුණා.

මේ නිසා ප්‍රථම ධර්ම සංගායනාවේදී ආනන්ද හිමියන් දැක්වූ ධාරණ ශක්තිය අතිශය වැදගත් වුණා. තථාගතයන් වහන්සේ වදාළ සියලු ධර්මය ඉස්පිල්ලක් පාපිල්ලක් නොහැර සිහියේ තබාගෙන ධාරණය කරගෙන සිටි හෙයින් ම ත්‍රිපිටක බුද්ධ වචනය පිරිසිදු ව සඞ්ගායනා කිරීමට හැකි වුණා. මේ නිසා ආනන්ද හිමියෝ ස්මෘති සම්පන්න භික්‍ෂූන් අතර අග්‍රලාභී බවට බුදුර්දුන් විසින් නම් කරනු ලැබුවා.
.
.
ඥාන ගති ඇති භික්‍ෂූන් අතර අග්‍රලාභී. ==============================

මෙහිදී ඥාන ගති යනුවෙන් හඳුන්වන්නේ ධර්මය සහ විනය යන දෙකම ඉගෙනීමට සමත් ඥානය යි.

ආනන්ද හිමියෝ හිටි අඩියේ ම ගාථා දස දහසක් හෝ පහළොස් දහසක් පමණ එකවර වන පොත් කිරීමෙහි ද දරාගැනීමෙහි ද සමත් ඥානයෙන් සමන්විත වුණා.
.
.

ධෛර්යවත් භික්‍ෂූන් අතර අග්‍රලාභී.
===============================

ආනන්ද මහා රහතන් වහන්සේ තථාගත වචනය ඉගැනීමේදී ද දරාගැනීමේදී ද සජ්ඣායනා (පාඩම් කළ දෙය අමතක නොවනු පිණිස නැවත නැවත කීමෙහිදී) කිරීමෙහිදී ද ධර්ම දේශනා කිරීමේදී හා උගැන්වීමෙහිදී ද කිසිදු මැළි බවක් හෝ උදාසීන බවක් දැක්වූයේ නැහැ. ඒ වගේම තථාගතයන් වහන්සේට උපස්ථාන කිරීමේදී ද දැක්වූ වීර්යය ද වැදගත් වුණා.

මේ නිසා ආනන්ද හිමියෝ ධර්මය පිළිබඳව;

1. උග්ගහණ වීර්යය.
2.ධාරණ වීර්යය.
3. සජ්ඣායනා වීර්යය.
4. තථාගත උපස්ථානය පිළිබඳ වීර්යය

යන වීර්යයන්ගෙන් සමන්විත වූ බැවින් ධෘති සම්පන්න භික්‍ෂූන් අතර ද අග්‍රලාභී තනතුරට පත් වුණා.

.
.
තථාගතයන් වහන්සේගේ උපස්ථායක භික්‍ෂූන් අතර ද අග්‍රලාභී.
===============================

වරින් වර තථාගතයන් වහන්සේට උපස්ථාන කළ භික්‍ෂූන් සිටිය ද ආනන්ද හිමියන් මෙන් නියම උපස්ථායක පිළිවෙතෙහි පිහිටා බුදුරදුන්ගේ අසළම හිඳිමින් බොහෝ කල් උපස්ථාන කිරීමට තරම් ආනන්ද හිමියන් වාසනාවන්ත වුණා.
.
.
බුදුන්වහන්සේගේ පරිනිර්වාණයට සුලු වේලාවකට පෙර බුදුන් වහන්සේ කළ ප්‍රශංසාත්මක දේශනාවෙහි වස්තු බීජය වූයේ ආනන්ද තෙරුන්.. එනම් දීඝ නිකායේ මහාපරිනිබ්බාන සුත්‍රයේ මේ බව සඳහන් වනවා. කරුණාවන්ත දූරදර්ශි, ජනප්‍රිය, ආත්මාර්ථයෙන් තොර පුද්ගලයෙකු වෙනුවෙන් කරන ලද එක්තරා ගුණ කථනයක් විදියට හඳුන්වන්න පුළුවන්.

කොහොම වුණත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සමඟම හුදෙකලාව තෝරාගෙන පිරිසෙන් වෙන්ව සිටීමට ආනන්ද හිමියන් තීරණය කළ බව ථෙර ගාථාවල සඳහන් වෙනවා.

පළමු ධර්ම සංගායනාවට ප්‍රථම රාත්‍රියේ රහත් බවට පත් වීමත් සමඟ ආනන්ද හිමියන් ආනන්ද මහා රහතන් වහන්සේ බවට පත් වෙනවා. තමන්ගේ ජිවිතයෙන් වැඩිකලක් බුදුරදුන් සමඟ ගත කළ ආනන්ද මහ රහතන් වහන්සේ එසේ රහත් බවට පත් වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසුව අද වැනි නිකිණි පොහොය දිනකයි.

You might also like
en English
X
X