Temples of Sri Lanka

වෙසක් සද රැසින් නැහැ වී යන අපේ වෙසක්!

  • වෙසක් සද සුදිලෙනා ගගනතම දිලිසුනා…  සිහින් හිරිකඩ විසිරෙනා මද නලත් හිනැහුනා….. බොදු දනන් සිත් සැනසෙන වෙසක් සද නැගුනා …..ඩ ගොහොරු වන් සිත් සුදු සිතින් සැරසුනා…  

🙏🙏🙏☸️☸️☸️☸️☸️🙏🙏🙏

🙏🙏🙏☸️☸️☸️☸️☸️🙏🙏🙏

සෑම වසරක්ම මාස දොලොසකින් සැරසෙනවා. ඒකි සෑම මාසයක් පාහේම උතුම් පිංබර පොහෝ දිනයකින් බැබලෙනවා. සෑම මාසයකට ආවේණික, බුද්ධ චරිතාංගයක් ඇසුරුකොට ගත් වැදගත්කමක් හිමිවෙනවා.

 

මේ ගත වන්නේ මැයි මාසයයි. වෙසක් සදින් ගගන සැරසෙන, පිංබර සිත් සතන් බුද්ධාලම්බනයෙන් ඔද වඩන වෙසක් මාසයයි. තුන් ලෝකයටම අග තැන්පත් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ පිංබර උපත, බුද්ධත්වය ලැබීම , ආයූ සංස්කාර අතහැරීම යන මංගල කාරණා ත්‍රිත්වය සිදු වූයේ ද මීට බුද්ධ වර්ෂ 2566 වසරකට පෙරාතුව ය. උන්වහන්සේ ලුම්බිණි සල් උයනේ දී මායාවන්ගේ කුසින් බිහි වීමත් සමග සිදු වූ අසිරිමත් සංසිද්ධීන් ඔබට යළිත් ආවර්ජනය කිරීමට අවැසි නොවෙයි.

 

බෞද්ධයන් බැති සිත් පෙරදැරිව බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී වෙසක් සද රැසින් නැහැවී යන වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගෙන වෙසක් සැරසිලි ද ආලෝක පූජාවන් , සුවද පූජාවන් බොදු ජනයා විසින් සිදු කරනු ලබයි. ඔවුන් ආමිස පූජා මෙන්ම ප්‍රතිපත්ති පූජා වලින් ද තමා ගෙවන්නා වූ දිවිපෙවෙත සාරවත් සදාචාර සම්පන්න මෙන්ම බුදු මුවින් දේශනා කළ ආකාරයට ධර්ම මාර්ගය ඔස්සේ සියල්ල දෙස බලා ඒ අනුව ක්‍රියාත්මක වීමටත් සුපහන් සිතිවිලි ඇති කරගන්නටත් අදිටන් කර ගනු ලබයි.

 

එමෙන්ම ලොව්තුරා බුදුන් වහන්සේ මෙයින් සාරා සංක්‍ය කල්ප ලක්ෂයකට පෙර සුමේධ තාපසව සිටියදී දීපංකර සම්බුදරදුන් හමුවේදී බුද්ධත්වයට පත්වීම පිළිබඳ පළමු නියත විවරණය ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකය. වෙසක් පොහොය දිනයේ දී සිදු වු තවත් වැදගත් සිදුවීමක් නම් සිද්ධාර්ථ කුමරුන් හට ගිහි ගෙය කළකිරී අභිනික්මන් කිරීමට හේතු වු මහල්ලෙක්, ලෙඩෙක්, මළකදක්, පැවිදි රුවක් යන සතර පෙර නිමිති දැකීමයි බුද්ධත්වයෙන් පසු තම උපන් ගම වන කුඹුල්වතට වැඩම කර ශාක්‍යයන්ගේ අතිමානය දුරලීමට යමාමහා පෙරහැර පෑවේද පිංබර වෙසක් පොහොයක වීම තවත් වැදගත්කමකි. සමස්ත ලෝකවාසි බොදු ජන සිත්සතන් පිං සිත් පෙරදැරිව නොයෙකුත් දාන ආදී පුණ්‍ය කර්මයන් සිදු කරමින්, අන් අය කෙරෙහි උදව් උපකාරයක් සිදු කරමින්, බුද්ධ දේශනාවන් හී පවතින හරය තම ජීවිතයට ළගා කරගනිමින් වෙසක් මංගල්‍ය සමරනු ලබයි.

 

තථාගතයානන් වහන්සේ වදාළ , අප විසින් කළ යුතු දේ වන්නේ සදාචාර සංවර්ධනය මෙන්ම තුන්දොර සංවරයේ පිහිටුවා පංචශිල ප්‍රතිපදාවට නැඹුරු වීමයි. රටක පාලකයාගේ සිටම මහජනයා දක්වා මනා හික්මීමකින් යුතු වීම රටක සෞබාග්‍ය මෙන්ම යහපත කෙරෙහි ද හේතු වන බව තරයේම සිහි තබා ගත යුතුය. තෘෂ්ණාව , වෛරය මුසාව ආදී කෙලෙස් ප්‍රහීන කර දමා තමාගේත් අන් අයගෙත් සැනසීම උදා කරලීම කෙරෙහි ධර්මයේ හැසිරීමට අප හුරුවිය යුතුය. රටේ පවතින වත්මන් වාතාවරණය දෙස විමර්ශනාත්මක ඇසින් බලන අප සෑම දෙනා තණ්හාව , වෛරය පොදි බදිමින් ගමන් කරන්නේ ඇයිද? අපට එයින් ඇති ඵල ප්‍රයෝජණයක් තිබේ ද යන්න සිතා බැලීම අප සතු වගකීමක් නොවන්නේ ද?

 

අප මේ වෙසක් සමයේ මෙන්ම මින් පසුව ද ආමිස පූජාවන් සහ ප්‍රතිපත්ති පූජාවන් හී නිරත වී ධර්මානුකුලව ජීවත් වීම යහපත් වනු ඇත.

©Buddist Brotherhood

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් !

You might also like
en English
X
X